Friday, December 15, 2017

දියවැඩියාව සහ අත් බෙහෙත්???

මුහුණු පොත වැනි සමාජජාල තුළ වගවීමකින් තොරව බෙහෙත් කියන සහ ඒ තරමටම බෙහෙත් සොයන රෝගයක් නිසාත් ජනප්‍රියම රෝගයක් ලෙස අද වන විට සමාජගත වී අැති නිසාත් දියවැඩියාව සදහා බෙහෙත් සෙවීමේදී හා බෙහෙත් කීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් දක්වන්නට සිත් විය. මෙහිදී පළමුව අප අවබෝධ කර ගත යුත්තේ දියවැඩියාව යනු කුමක්ද යන්නයි. දියවැඩියාව යනු රුධිරගත ග්ලූකෝස් මට්ටම (සීනි) ඉහළ යාමම යැයි සිතා කටයුතු කිරීම සාධාරණ නොවේ. එය දියවැඩියා තත්වයේදී අපට පෙනෙන්නට තිබෙන රූපාකාරය යි.
දියවැඩියාවෙහි අාකාර දෙකක් පවතී.

1. පළමු පෙළ දියවැඩියාව (Type 1 DM) - ශරීරය තුළ ශරීරයට අවශ්‍ය ඉන්සියුලින්, අග්න්‍යාශය තුළ නිපද නොවේ. මෙය ඒතරම් සුලබ තත්වයක් නොවන අතර දියවැඩියා රෝගීන් අතරෙන් 10‍%ක් පමණ මෙම තත්වයෙන් පෙළේ. ඔවුන්ට අනිවාර්යයෙන් ම ඉන්සියුලීන් එන්නත් කළ යුතුය.

2. දෙවන පෙළ දියවැඩියාව (Type 2 DM) - ශරීරය තුළ අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලීන් නිපදවීමක් සිදු නොවීම හෝ දේහ සෙෙල ඉන්සියුලීන් සදහා දක්වන ප්‍රතිචාරය අඩු වී ප්‍රතිරෝධය ඉහළ යාම හේතු වේ. මේ සදහා ඔෟෂධ ලබා දීම මගින් තත්වය පාලනය කර ගත හැකිය.

මේ අනුව ගැටළුව තිබෙන්නේ ඉනිසියුලීන්වල හෝ ඉන්සියුලීන් නිපදවන අග්න්‍යාශයේ හෝ දේහයේ සෙෙල ඉන්සියුලීන්වලට දක්වන ප්‍රතිචාරයෙහි බව ඔබට පැහැදිලි වනු අැත. මෙම ඉන්සියුලීන්වල ගැටලුව නිසා අැති වන ප්‍රතිඵලය නම් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමයි. එය දියවැඩියාවේ දර්ශකය යි.
කෙසේ නමුත් දියවැඩියාව සදහා ප්‍රතිකාර යෙදීමේදී රුධිරගත සීනි මට්ටම පාලනය කර ගැනීම අතිශය වැදගත් ය. ඒ සදහා බටහිර මෙන්ම දේශීය හා අායුර්වේදීය ප්‍රතිකාර ද පවතී. ඒ පිළිබද දැනුවත් අැතැම් විට අතෙලාස්සකි.


කෙසේ නමුත් තකහනියක් සීනි මට්ටම පහත හෙළීමම දියවැඩියාව සදහා ප්‍රතිකාරය නොවේ. මූලධර්මානුකූලව අග්න්‍යාශය තුළ ඉන්සියුලින් නිපදවීම උත්තේජනය කිරීම හා දේහ සෙෙලවල ප්‍රතිචාර ඉහළ නැංවීම කළ යුතු ය. එය වෙෙද්‍යක කරුණක් බැවින් පසෙකින් තබමු. 

දියවැඩියාව සදහා අාහාර පාලනයක් අවශ්‍ය ද? යන්න සලකා බැලීම ඊට වඩා ඔබට වැදගත් වනු අැත. සැබැවින්ම ඉහත කුමන අාකාරයේ දියවැඩියා තත්වයකින් පීඩා වින්දත් ඔහු හෝ අැය අනිවාර්යයෙන්ම අාහාර පිළිබද සැලකිලිමත් වීම අවශ්‍යය. මන්ද රුධිරයට සීනි සැපයෙන්නේ අප ගන්නා අාහාරයෙනි. දැනටමත් ලැබෙන සීනි ප්‍රමාණය යාමනය කර ගැනීමට ඔබේ සිරුර අපොහොසත් ය. එබැවින් සැපයුම සීමා කළ යුතුය. නොඑසේ නම් ඒ සීනි රුධිරය තුළ රැස් ව සංකූලතා අැති කරනු අැත. 
එසේම දියවැඩියාෙවන් පෙලෙන අයෙක් අනිවාර්යයෙන්ම සුදුසුකම් ලත් වෙෙද්‍යවරයෙකු යටතේ ප්‍රතිකාර ද ගත යුතුමය. ඒ ප්‍රතිකාර ගන්නා අතර තුර වෙෙද්‍යවරයා විටින් විට රුධිර සීනි මට්ටම ද පරීක්ෂා කර බලනු අැත. 

දියවැඩියාව සදහා භාවිත වන

‘අත් බෙහෙත්වලින්’ සිදු වන්නේ කුමක් ද යන්න පිළිබදව ද ඔබ දැනුවත්ව සිටිය යුතුය. 


කෝවක්කා, තෙබු, වල් කොත්තමල්ලි, කොතලහිඹුටු, රණවරා දියවැඩියාවට ප්‍රසිද්ධ ‘අත් බෙහෙත්’ය. (අත් බෙහෙතක් යනු කුමක්දැයි වෙනමම සාකච්ඡා කළ යුතුය.) මෙම ඔෟෂධ මගින් සිදු කරන්නේ රුධිරයේ සීනි මට්ටම පහත හෙළීම යි. ඔබ ලබා ගන්නා ඔෟෂධවලින් ද එම කාර්යය සිදු වේ. යමෙකුට දියවැඩියාව තිබෙන බව දැනගත් විගස දන්නා හදුනන අය විවිධ ඔෟෂධ වර්ග හදුන්වා දෙන අතර අැතැම් විට රෝගීන්මත් ඒ පිළිබද විමසනු අැත. වෙෙද්‍යවරයාගේ ඔෟෂධත් සමග ඒ ඔෟෂධ වග විභාගයකින් තොරව ලබා ගත් විට සිදු වන්නේ රෝගියාගේ සීනි මට්ටම සීග්‍ර ලෙස පහත බැසීමයි. එහි අවසන් ප්‍රතිඵලය
මරණය
ද විය හැකිය. මන්ද වඩා බරපතල වන්නේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට වඩා පහත බැසීම යි. ඒ නිසා රුධිර සීනි මට්ටම අඩු කරන අත් බෙහෙත් යැයි සම්මත ඔෟෂධ ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. ඒ ඔෟෂධ ද දිනපතා හෝ නිරන්තරයෙන් ගැනීම සුබදායක නොවනු අැත. 

තුන්වේලම කෝවක්කා කොල සම්බෝලය හෝ සතියේ දින පහට කෝවක්කා, තෙබු, අාදී වශයෙන් හෝ ගැනීම යෝග්‍ය නොවන
අතර ඒවා අාහාර ලෙස හෝ පාන ලෙස එක් කර ගත යුත්තේ කෙසේ ද යන්න ඔබේ වෙෙද්‍යවරයාගෙන්, වෙද මහතාගෙන් හෝ අඩුම තරමින් ෙරා්ගයත් බෙහෙතත් දෙකම ගැන හොදින් දන්නා කෙනෙකුගෙන්වත් විමසා ගැනීම වැදගත් ය. මන්ද කුරුදු තේ කෝප්පයකින් හෝ කරවිල කරලකින් ඔබේ සීනි මට්ටමට අැති කරන බලපෑම මෙන් කිහිප ගුණයක් වැඩිපුර ඉහත දැක්වූ ඔෟෂධ මගින් බලපෑම් කළ හැකි බැවිණි. එබැවින් එවැනි ඔෟෂධ සතියකට දින 1ක් 2ක් ඉක්මවා නොගන්නේ නම් වඩාත් මැනවි. ඒ කෙසේ වෙතත් නිරන්තරයෙන් ඔබේ සීනි මට්ටම ගැන ද අවදානය යොමු කළ යුතුම ය. දියවැඩියාවෙන් පෙලෙන අයෙක් අනිවාර්යයෙන්ම සීනි මට්ටම හදිසියේ අඩු උවහොත් ඒ සදහා ක්‍රියාත්මක වීමට ද දැනුවත්ව සිටිය යුතු ය. අැස් බොදවී යාමක්, අසාමාන්‍ය ලෙස දහදිය දැමීමක්, නිතර නිදිමත ගතියක්, වෙව්ලීමක් වැනි ලක්ෂණ සීනි මට්ටම පහත බැසීම ගැන ඉගි කරයි. එවිට ග්ලූකෝස් වැනි සරල සීනි වර්ගයකින් මේස හැන්දක්, සීනි හෝ පැණි මේස හැන්දක්, සීනි යෙදූ පළතුරු බීම කොප්ප 1/2ක් වැනි සීනි සහිත අාහාරයක් ලබා ගත යුතු අතර විනාඩි 15කින් සීනි මට්ටම පරික්ෂා කර ගත යුතුය. මෙවැනි අවස්ථාවක ප්‍රෝටීන හා මේද මිශ්‍ර කළ සීනි වර්ග එනම් චොකලට්, අයිස් ක්‍රීම් වැනි අාහාර යොදා නොගත යුතු ය. මන්ද ඒ අාහාර තුළ පවතින සීනි රුධිරයට එක් වන්නේ ඉතා සෙමිනි. දියවැඩියාවෙන් පෙළෙන අයෙක් නිතරම ටොෆියක්වත් සාක්කුවේ දමා ගෙන සිටිය යුතු යැයි සාමාන්‍ය ව්‍යවහාරයක් පවතින්නේත් මේ කරුණ නිසාම ය.

එය එසේ නමුත් කිසිම විටෙක පත්තරයක හෝ ෆේස්බුක් පිටුවක දකින බෙහෙත් වට්ටෝරු නම් භාවිත කිරීමට ගොස් අමාරුවේ නොවැටෙන මෙන් දැනුම් දීමටද කැමැත්තෙමි. විවිධ තැන්වල ඒ බදු කසාය වට්ටෝරු පවා හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. එය Share කිරීම මාහැගි පිනක් ලෙස දක්වා තිබුණත් ඒ තුළ ජීවිතයකට හානියක් ද සිදු විය හැකිය. අැතැම් විට සත්භාවයෙන් තමන් වෙත ලැබුණු බෙහෙත් වට්ටෝරුවක් අන් අය සමග බෙදා ගැනීමට සිතුවත් අවිචාරවත්ව ඒවා භාවිත කිරීම තුළ ගැටළු උද්ගත විය හැක. දියවැඩියාවෙන් පෙළෙන අය තම සීනි මට්ටම ඉහළ යාම ගැන මෙන්ම ඊටත් වඩා එහි පහළ යාම ගැන ද අවදානයෙන් සිටිය යුතු බව මතක තබා ගන්න. දියවැඩියාවට වෙෙද්‍ය නිර්දේශයකින් තොරව ඔෟෂධ භාවිත නොකරන්න.




වෙෙද්‍ය ජනක ජයලත්










සන්නිරෝග - (Part-3)

අපි මීට කලින් සන්නි රෝග කීපයක් ගැන කතා කලා.අද අපි යන්නේ තවත් සන්නියක් ගැන කතාකරන්න.
මම මුලින් කිව්වද මන්ද ,මේ සන්නි කියන්නේ මතභේදාත්මක රෝග කාණ්ඩයක් නේ,සන්නි රෝග ගැන මෙතෙක් සම්පූර්ණ වශයෙන් කෙරැන ආයුර්වේදාත්මක හෝ බටහිර වෛද්‍යවිද්‍යාත්මක විවිරනයක් කොහෙවත්ම හම්බවෙන්නේ නෑ.
කොහොම උනත් සන්නි කියන්නේ සංකීර්ණ , තීව්‍ර රෝග අවස්තාන් කියන එකනම් හැමෝම වගේ පිලිගන්න දෙයක්.
කොහොම උනත් මේව විද්වත් මතවාද පමනයි.තෝරැ මෝරැ අස්සේ හාල්මැස්සො පීනනව වගේ මාත් මේ කරන්නේ ඒවගේ අදහස් කීපයක් ඔබට ඉදිරිපත් කිරීමක් විතරයි.
අද අපි කියන්න යන්නේ "වෙඩි සන්නිය "කියල හදුන්වන සන්නියක් ගැන.මේක ගැන නම් සන්නියකුම සම්බන්ධ ශාන්තිකර්ම සම්ප්‍රදායන් තුනේම සහ දේශීය වෙදකමෙත් මේනමින්ම හදුවල තියනව.අතීතයේ මේකට ගෙඩි සන්නිය කියලත් කිව්වයි කියලයි කියන්නේ .බලමුකෝ මේ සන්නියේ රෝගෙ ලක්ෂණ මොනවාද කියල,ශාන්තිකර්ම සාහිත්‍යයේ මෙවැනි කවියක් තියනවා
දෙකම්මුලෙ ගෙඩි බන්ධන කරමි න
කම්මුල තඩිස්සි කනයට කකිය න
කනයට ගෙඩි කර ශාරේ අද්ද න
වෙඩි සන්නිය යකු පුද ඉල්ලා එ න
දැඩිවී ඇඟ කනයට කකියන් නේ
පොඩිවී ඇගපත රැදා කරන් නේ
......
තව තැනක මෙහෙත් කියනවා,මේකත් සන්නි යකුමෙම එන කවියක්
කනයට ගෙඩි බැඳ ශරව ගලන් නේ
මූනේ ගිනිජල් නිබඳ කරන් නේ
දෑතට දෙපයට දහදිය එන් නේ
වෙඩි සන්නිය කල ලෙඩ දැන ගන් නේ
යෝගරත්නාකරය වෙද පොතේ මේ කවියම සුළු වෙනස්කම් සහිතව මෙහෙම තියනවා.
කනයට ගෙඩිකර සැරවයි එන් නේ
මූනේ ගිනිජල් නිබඳ කරන් නේ
දෑතේ දෙපයේ දහදිය එන් නේ
වෙඩි සන්නිය කල ලෙඩ දැන ගන් නේ
සන්නියකුමේ හා දේශීය චිකිත්සාවේ එන සන්නි එකිනෙකට වෙනස් සම්බන්ධයක් නැති දෙකක්ය,කියන ඇතැම් විද්වතුන්ටත් මේක අවධානය යොමුකල යුතු තැනක්...
මොනවද බලමු මේ කියන ලක්ෂණ
* කම්මුල් දෙකේ ගෙඩි හටගැනීම
* කම්මුල ඉදිමීම (තඩිස්සි කියන්නේ ඒක තමයි)
* කනයට වේදනාව
* මෙම ගෙඩි පුපුරා සැරව ගැලීම
* කනේ හා ඇග පතේ වේදනාව
* මුහුනේ දැවිල්ල
* අධික උන ඇතිවීම (ඔය අදික දහඩිය දානව කියන්නේ ඕක තමා.බොහෝ තැන්වල උන ගැන ව්‍යංගයෙන් කියන්නේ දහදිය දැමීම සම්බන්ධ කරල)
මේ සන්නියේ වෙස්මුහුණත් හරි වැදගත්....
වෙඩි සන්නි මුහුණු නිතරම වර්ණගැන්වීම කරල තියන්නේ ,තද රතු හෝ කුනු ලේ පාටින්,මම හිතන්නෙ ඒ "ප්‍රදාහාත්මක" බව නිරෑපනයට .සමහර මූනුවල දෙපැත්තේ ඉදිමුම පැහැදිලිව පෙන්නලා තියනවා.තව සමහරක් මූණු වල කම්මුල් ගෙඩිය පුපුරා සැරව ගලන හැටිත් තියනවා.සමහරක නම් කට පැත්තට ඇද උන ගතියකුත් පේන්න තියනවා.
රංගනයේ භාව නිරෑපනයෙන් පෙන්නන්නෙත් ඔය ලක්ෂණමයි.වෙඩි සන්නිය එන්නේ කෙසෙල් පිත්තකින් කපපු තුවක්කුවක් අරගෙන,ඉස්සර නම් ආවේ දුන්නක් අතින් අරන්ලු.යටත්විජිත සමයට පස්සේ තමා තුවක්කුවට මාරැවෙලා තියන්නේ .ඉතින් බලමුකෝ ඒකෙත් හැටි.....
මේකේ රංගනය ගැනත්
තව රසවත් විස්තරයක් කියන්න තියනවා.ටිකක් බලන් ඉන්නකෝ..
හොඳයි අපි ඊලගට බලමුකෝ මේවගේ ලක්ෂණ තියන රෝගයක් ගැන ආයුර්වේදයේ කියනවද කියල.
ආයුර්වේදයේ "කර්ණ මූලික ජ්වරය,සහ "කර්ණක සන්නිපාතය"කියල උණ රෝගයත් එක්ක වෙනත් ලක්ෂණත් එන රෝගයක් ගැන කියල තියනවා.මෙන්න මෙහෙම
"එකතඃ කර්ණ මූලේ ථානුපදඤ්චාන්‍යතඃ පුනඃ ශොථඃ සරැග් ජ්වරොයත්‍ර සඤෙයඃ කර්ණමූලිකඃ"
කර්ණ මූල ග්‍රන්ථි එකෙහි හෝ දෙකෙහිම ඉදිමුම හා සහිතව උනක් හටගනීද එය කර්ණමූලික ඡ්වරයයි. තව මෙහෙමත් තියනව
"ශ්‍රැතෙඃ අධඃ අතිබහුව්‍යථඃ යඃ ශ්වයථුඃ.......සඃ කර්ණකාඛ්‍යඃ"
දෙසවන් යට ඉතා බොහෝ පීඩා ඇති යම් ⁣ඉඳිමුමක් වේද ......කර්ණක නම් සන්නිපාතයයි.මේවගේ ලක්ෂණත් විස්තර කරල තියනවා.ඔය කෙටියෙන්....
හොදයි අපි ඊලගට බලමුකෝ බටහිර වෙදකමේ හැටියට මේවගේ රෝගලක්ෂණ එන්න පුලුවන් මොනවගේ ලෙඩවලදිද කියල....
මේ ලක්ෂණ දැක්කම මතක්වෙනව නේද පොඩි කාලේ හැදුන ලෙඩක් ගැන.අපි කම්මුල් ගාය කියන්නේ .ඒක බොවෙන ලෙඩක් නේ paramyxoviridae කියන පවුලට අයිති වයිරස් එකක් නිසා හැදෙන mumps parotitis කියන රෝගය .නමුත් ඉතින් ඒක ඔයතරම්ම අමාරුවෙන ලෙඩක් නෙමේ නේද? ,අපිටත් ඔය හැදිල හොඳ උනේ.
ඇත්තෙන්ම මේ වගේ කම්මුල් වල ගෙඩි හැදෙන ,කේඨ ග්‍රන්ථි හා කොපුල ආශ්‍රිත ගෙඩි(abscess ) හා පිලිකා ( Carcinoma ) වර්ගනම් ගොඩක් තියනවා.නමුත් අපි අමතක කරන්න හොද නෑ සන්නි රෝග කියන්නේ කල්ගතඋන(chronic ) රෝග නෙමේ තීව්‍ර(acute ) රෝග අවස්තා.අපි එහෙම කියන්නේ නිකම්ම නෙමේ සන්නි රෝග ගැන කියල තියන අපේ දේශීය පොත් පත් බලපුවම ඒක කව්රුත් පිලිගන්නව .
කොහොම උනත් අපි අර මුලින් කියපු කම්මුල් ගාය( mumps parotitis ) උනත් හැදිල ගොඩින් බේරැනොත් හොදයි හැබැයි වැඩේ දරැනු වෙන්න පුලුවන් අවස්තා නැතුව නෙමේ.
වැඩේ ගොඩින් බේරැනේ නැත්නම් ගොඩක් දරැනු උපද්‍රව ඇතිවෙන්න පුලුවන්.වෛරසය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ උනොත් මේකට බැක්ටීරියා ආසාධන ඇතිවෙන්න පුලුවන්.අපි දන්න කම්මුල් ගාය නිසා කම්මුලේ ගෙඩි පුපුරලා සැරව නොගැලුවට මේවගේ අවස්ථාවක නම් කම්මුලේ සැරව ගෙඩි ඇවිත් පුපුරන්න පුලුවන්( bacterial suppurative parotitis) ඒ විතරක් නෙමේ තව ගොඩක් උපද්‍රව එන්න පුලුවන්.
මම මුලින් කිව්වේ වෙඩි සන්නියේ රංගනය විශේෂයි කියල.බලමුකෝ ඇයි කියල
වෙඩි සන්නි යක්ෂයා එන්නේ තුවක්කුවක් අරන් කිව්වනේ,එයා යන්නේ දඩයමේ ,ඔය යන අතර තුර පොඩි පොඩි දෙබස් ඇතිවෙනවා ඒවගේ අපූරු කතා ටිකක් කියැවෙනවා.
කොච්චර හොඳට බෙහෙත් කොටල වෙඩි තිබ්බත් හරියට වෙඩිල්ල වදින්නේ නෑ....
හරියට වෙඩි තියාගන්න බෑ තුවක්කුව කැඩිල....
යන්නේ පුස් වෙඩි....
දැන් අව්රැදු ගානක ඉඳන් වෙඩි තියනවා,තාම සතෙක් එලා ගන්න බැරිඋනා ....
සන්නිය රංගනය ඉවර කරන්නේ තුවක්කුවෙන් දඩයම් කරන්න ගිහින් තුවක්කුවත් දෙකට කඩලා....
මේව හරි රසවත්,මේවගෙන් කියවෙන්නේ ලිංගිකත්වය පිලිබඳ ඉඟි සමූහයක්.
දැන් ඒක කොහොමද මේකට සම්බන්ධ ?
අදාල නෑ නේ......
සමහර ඊනියා ප්‍රබුද්ධයෝ හිතන්නෙ මෙව නිකන්ම නිකන් කුනුහරැප විහිළු කියල.නමුත් අපේ පැරැණ්නො කුනුහරැපයක් වත් නිකමට කිව්වේ නෑ.....
mumps වෛරසය ආසාධනය නිසා ඇතිවන උපද්‍රව තත්වයක් නිසා යුවලකට දරැවන් නැතිව යන්න පුලුවන්.මේ වෛරසයෙන් වෘෂණකෝෂ ආසාධන( Mumps orchitis) නිසා පුරැෂ වඳ භාවයත් ,ඩිම්බකෝශ ආසාධන උනොත් (mumps oophoritis ) ස්ත්‍රී වඳභාවයත් අතිවෙන නිසා ඕක නිකම්ම නිකං අසැබි විහිළුවක් කියල හිතන්න එපා.
කව්රැ කව්රුත් ඔය තොවිල් පවිල් වල තියන නාට්‍යමය අවස්තා බලල හිනා වෙනව ඇති නේ.ඒ කරල හිතනව ඇති බටහිර සම්භාව්‍ය නාට්‍යත් එක්ක බැලුවම මේව්ව මොනවාද අප්පා.. කියල.මොකද අපේ රටේ නාට්‍ය ආභාෂය ලැබුවේ මේවගෙන් නිසා....කමක් නෑ
හිනා වෙන ගමන් යටි අදහස ගැනත් ටිකක් හිතන්න කෝ.එතකොට හීනමානය දුරැ වෙයි...
තව දෙයක්...මේ වෛරසය ස්නායු පද්ධතියට බලපාන්නත් පුලුවන් ,එතකොට අපි අර කලින් කතා උන වක්ත්‍ර ස්නායු අකර්මණ්‍ය (facial nerve paralysis ) තත්වයක් ඇතිවෙන්න පුලුවන් .ඉතින් සමහර වෙඩි සන්නි මූනුවල කට ඇදඋන ස්වරූපයක් පෙන්නල තියන්නේ ඇයි කියලත් දැන් හිතාගන්න පුලුවන් නේ?.......
එතකොට ඔය වෛරසය නිසා තව ගොඩක් උපද්‍රව ඇතිවෙන්න පුලුවන් නේ ,ඒ ගැන ඉඟි නැත්ද?
අපෝ තියනවා.ඔය කිව්වෙ ප්‍රධානම ටිකක් විතරයි.ඔය ටික මදෑ....



"ශ්‍රීලාංකීය දේශීය චිකිත්සාවේ සදහන් සන්නිරෝග හා පහතරට බෙන්තර සම්ප්‍රදායට අයත් සන්නියකුම ශාන්තිකර්මයේ සදහන් සන්නිරෝග පිලිබඳ සංසන්දනාත්මක හා විමර්ශනාත්මක අධ්‍යනයක්"
යන මැයෙන් BAMS උපාධි පාඨමාලාව සදහා මාවිසින් ඉදිරිපත් කොට පලකෙරැන පර්⁣යේෂන නිබන්ධනය ඇසුරෙනි.
චායාරෑප :- අන්තර් ජාලයෙන්

පහුගිය ලිපි


සන්නිරෝග - ( Part 1)


වෛද්‍ය මාධව සිව්රංග සුමනවීර

සන්නිරෝග - ( Part - 2)

අපි පහුගිය ලිපියකින් සන්නි රෝග ගැන බොහො දේවල් කතා කලා විශේෂයෙන්ම අංශභාගය නමින් අපි හදුන්වන රෝගය ගැන සන්නි රෝග ඇසුරෙන් .
ඉතින් ඉවරද ? 
ඉවරනෑ තව දේවල් තියනවා, හිතන්න කතා කරන්න,
මම මුලිනුත් කිව්වනේ ,අපේ පැරනි ශාන්තිකර්ම බලි තොවිල් ⁣වගේ දේවල් වල අපි නූතනයේ මහ ඉහලින් කතාකරන සමහර දේවල් සැගවිලා තියනව කියල.
පැරැණ්නො තමන්ගේ ඇදහිලි, විශ්වාස ,සංස්කෘතිය වගේ දේවල් නිසා තමාට සෑදෙන ලෙඩ රෝග ආදිය දෙවියන්,යකුන් ,භූතයන් වගේ නොපෙනෙන සංකල්ප ඇසුරෙන් විග්‍රහ කරගත්ත.ඒ වගේම ඒවාටම කලාව ,සංගීතය ,වාදනය,චිත්‍ර ,ඇඹුම්,මූර්ති වගේ දේවලුත් එකතුකරගත් සංස්කෘතියක් ගොඩනැගුව.
ලෝකය කොටස්වල කඩා අධ්‍යනය කිරීම,දැනුම විශේෂඥ කරනය බටහිරයන්ට ආවේණික ලක්ෂණ නේ, නමුත් අපි එහෙම නෑ.අපේ මොනදෙයක් ගත්තත් ඒකේ හැම දේම තිබුන.ඉතින් අපේ ශාන්තිකර්ම කියන්නේ ඒවගේ දෙයක් තමා.චිත්‍ර ,මූර්ති ,කැටයම්,ගොක් කලාව,දෙවියන්,යකුන්,ප්‍රේතයන්,ආගම දහම,වෙදකම,ඉංජිනේරුවිද්‍යාව,ගණිතය වගේ හැමදෙයක්ම ඒව තුල අඩංගු වෙනවා.
ඉතින් අපි අද කතාකරන්න යන්නෙත් සන්නි රෝගවලට සම්බන්ධ දෙයක්ම තමා, කලින් ලිපියේම දිගුවක් කිව්වත් වැරදි නෑ.
අපි කලින් කතා කලේ කොර සන්නිය හා ඒකපාත සන්නිය ගැන නේ.නමුත් කොර සන්නිය,ඒක පාතසන්නිය හා වාත සන්නිය කියන සන්නි වල සන්නි වෙස්මුහුණ පමනක් සලකා බැලුවත් ඒකෙත් කියන්න තරම් විශෙෂත්ව ගොඩක් තියනවා.
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ඡාමෙට කියනවනේ.ඒ නිසා අපි ඒක මෙහෙම පටන් ගමු.
ඔයාල අහල ඇති එකපාරම ,එහෙම නැත්නම් උදෑසන අවදිවෙනවත් එක්කම එකපාරටම කට ඇදවෙලා ,අැස් පියන්න බැරිවෙන,කතාකරන්න බැරව,මුහුනේ පැත්තක් පණනැතුව යන රෝගයක් ගැන.
බටහිර වෛද්‍යවරුන් මේකට කියන්නේ facial paralysis (වක්ත්‍ර ස්නායු අකර්මණ්‍ය) කියලයි.
බටහිර විද්වතුන්ට අනුව මේකට ප්‍රධාන හේතු තමයි සරලව කිව්වොත් මොලයේ නහරවල ලේකැටි හිරවීම,ඒ වගේම අධික සීතලට නිරාවරණය වීම සමහර ආසාධන තත්ව,පහර වැදීම්,මොළයේ ඇතවන අර්බුද වගේ දේවල් නිසා මුහුණට ස්නායු සපයන හත්වන කපාල ස්නායුවේ( 7th cranial nerve ) ක්‍රියා හානි වීම.
මොළයේ හා ස්නා පද්ධතියේ අකර්මණ්‍යතා ඇතිවන තැන අනුව මේකේ ආකාර තුනක් තියනවා.
ඉනුත් එක් බහුල ආකාරයකට ඔවුන් කියනවා Bell's palsy (බෙල් ගේ අංශභාගය )කියල.
මේ රෝගය පිලිබඳ මුලින්ම නූතන ලෝකයට හෙලිකල ස්කොට්ලන්ත ජාතික චාර්ල්ස් බෙල් නම් ශල්‍ය වෛද්‍යවරයාට ගරැකරන්නනේ එහෙම නම දාල තියන්නේ.හරි අපි දැම් බලමුකෝ මේරෝගයේ ලක්ෂණ මොනවද කියල.කලින් කිව්ව වගේම
මුහුනේ පේශි අකර්මණ්‍ය වීම නිසා
*කට පැත්තකට ඇදිල යාම
*ඊට විරැද්ධ පැත්තේ ඇස වැසීමට නොහැකි වීම
*වචන උච්චාරණය අපහසු වීම
*නලලේ රැලි නැතිවයාම
*ඇස් පිය වැසීමට නොහැකි වීම නිසා ඇස් රතුවීම ,නිතර කදුළු ගැලීම මේක ඇස් අන්ද වීමට පවා හේතු වෙන්න පුලුවන් .
*ශබ්ධයට අධිසංවේදී බව හා ඇතැම්විට කනේ වෙදනාව
*සමහරුන්ටනම් දිවේ එක පැත්තක රස සංවේදනය අඩුවීම
හොදයි දැන් අපි බලමුකෝ ලක්ෂණානුකූලව මේවගේ රෝගයක් ගැන ආයුර්වේදයේත් කියැවෙනවද කියලා.
ඇයි නැත්තේ මෙහෙම රෝගයක් ගැන ක්‍රි.පූ 6වන සියවසේ තරම් ඈත දී සුශැත කියන ආචාර්ය වරයා ඉතා හොදින් විස්තර කරල තියනවා.නිකං නෙමේ රෝගයට හේතු,පූර්ව ලක්ෂණ ,සාධ්‍ය අසාධ්‍ය ලක්ෂණ එහෙමත් එක්කම...ඒකෙ ලක්ෂණ මෙන්න මෙහෙම කියනවා සංස්කෘත සොලෝකයකින්
වක්‍රීභවති වක්තාර්ධං ග්‍රීවං චාප්‍යවර්තතේ
ශිරශ්චලති වාක්සංගෝ නේත්‍රාදීනාං ච වෛකෘතං
ග්‍රීවා චිබුකදන්තානං තස්මිං පාර්ශවේ තු වේදනා
මොකද්ද මේ කියන්නේ?
මේකනේ....
* මුහුණේ අඩක් ඇදවෙයි
* ගෙල වක්‍ර වේ
* හිස සොලවයි (වේව්ලයි)
* කතාව නොහැකි වෙයි
*ඇස් වැසීම අපහසු වෙයි
* රෝගය ඇති පැත්තේ ගෙල,නිකට,දත්,වල වේදනාව ඇති වේ.
හරි ඇයි දැන් මේගැන මේච්චර විස්තර කියන්නේ?
විස්තර කියන්නේ මේකයි ,අපි සන්නි ගැනනේ කතාව.කොර සන්නි හා වාත සන්නි වෙස් මුහුණු හමුවෙනවා මේ ලක්ෂණ තියන.සමහරක්
සම්ප්‍රදායන් අනුව සුලුවෙන් වෙනස් උනත් සමස්තයක් ව්දිහට සමානයි.
මොනවද ඒ ලක්ෂණ ?
ඔය උඩ කියල තියන ගොඩක් රෝග ලක්ෂණ මේ වෙස් මුහුණේ තියනවා හොදට බලන්නකො නැත්ද කියලා.රොගියෙකුගේ හැබෑ මුහුණකුත් තියනවා සංසන්දනය කරල බලන්න.
ශබ්ධයට ඇති අධිසංවේදී බව පෙන්නන්නේ රෝගී පැත්තේ කන ලොකුවට තියන්නේ.
ඇහැ වටේ නයි පෙන හැඩයක්.ඒ ව්නාශය පෙන්නන්න.
මම කලිනුත් කිව්වනේ ඩාවින්චි විතරක් නෙමේ ,තමංගේ කලා කෘතිවල කේත හැංගුවේ කියල......
මොකටද ඉතින් ඒව වෙස්මුහුණු වලින් පෙන්නන්නේ නිකං යක්කු වගේ?
ආ...
ඒ අපේ සංස්කෘතියේ හැටි නේ.සන්නිත් එහෙමමයි. රෝගය යක්ෂයෙක් විදිහට හා රෝග ලක්ෂණ යක්ෂයාගේ රෑපාකාරය විදිහට .
එතකොට මේ රෝග ගැන මුළු ලෝකෙන්ම මුලින්ම දැනගෙන ඉන්න ඇත්තේ අපි වෙන්න ඇති නේද?
ආ...
නෑ එහෙම කියන්න බෑ.ග්‍රීක ,රෝම,පර්සියානු වෛද්‍යවරුත් ක්‍රිස්තු පූර්ව යුගවලදිත් මේ ගැන දැනං ඉඳල තියනවා.
පේරැ වලිනුත් මේවගේ රෝගලක්ෂණ සහිත වෙස්මුහුණුත් හමුවෙලා තියනවා.කොහොම නමුත් නමුත් පැරණි ලෝකයට සමාන්තර දැනුමක් අපිටත් තිබ්ල තියනවා.
මොකද අපි පෝෂණය උනේ ආයුර්වේදයෙන් නේ.......


"ශ්‍රීලාංකීය දේශීය චිකිත්සාවේ සදහන් සන්නිරෝග හා පහතරට බෙන්තර සම්ප්‍රදායට අයත් සන්නියකුම ශාන්තිකර්මයේ සදහන් සන්නිරෝග පිලිබඳ සංසන්දනාත්මක හා විමර්ශනාත්මක අධ්‍යනයක්"
යන මැයෙන් BAMS උපාධි පාඨමාලාව සදහා මාවිසින් ඉදිරිපත් කොට පලකෙරැන පර්⁣යේෂන නිබන්ධනය ඇසුරෙන් හා ශාස්ත්‍රීය ග්‍රන්ථ හා ලිපි ඇසුරෙන්.
චායාරෑප :- අන්තර් ජාලයෙන්

පහුගිය ලිපිය- සන්නිරෝග - ( Part 1)

වෛද්‍ය මාධව සිව්රංග සුමනවීර

සන්නිරෝග - ( Part 1)

අද මම බලාපොරොත්තු වෙන්නේ සන්නි රෝග කියලා හෙල වෙදකමේ කියවෙන රෝග කාණ්ඩයක් ගැන කියන්න.
සමහරු විහිළුවට අහනවනේ උබට වෙප්පුවද නැත්නම් සන්නියද කියල?
න්නි රෝග කියල රෝග ජාතියක් ගැන අපේ පුරාණ වෙදපොත් ගණනාවක ලියැවිලා තියනව ඔය "වටිකා ප්‍රකරනය","යෝගරත්නාකරය" වගේ තව ගොඩක් තියනව.අපේ ගුලි කල්ක පොතනෙ වටිකාප්‍රකරනය, ඒකෙ නම් විවිධ සන්නිවල ලක්ෂණ නිමිති ආදිය ගැන ගොඩක් විස්තර තියනව ඒවිතරක් නෙමේ බෙහෙතුත් කියල තියනව.එතකොට සමහරවිට ඔබ දැකලත් ඇති ඔය පහතරට පැත්තේ "සන්නියකුම" නැත්නම් "සන්නිසමයම","දහඅට සන්නිය " කියල ශාන්තිකර්මයක් කෙරෙනවනේ.ඒකෙත් කවියෙන්,රංගනයයෙන්,වෙස්මුහුණු වලින්( ආහාර්ය අභිනයෙන්)හා තිත් රෑප වලින් සන්නි කියල රෝග ජාතියක් ගැන කියවෙනව.අදකාලේ ශාන්තිකර්ම කව්ද ගණන්ගන්නේ නේද? ඒත් හෙල වෙදකමේදී ශාන්තිකර්ම ,තොවිල් පවිල් කියන එව්වා හරි වැදගත්.ගොඩක් අය මේවගැන බැලුවේ සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකින් විතරයි.ඒත් ඊටත් උඩින් මේ ගැන බලන්න කාලේ හරි.
සාමාන්‍යයෙන් බැලුවම නම් හරිම විහිළු සහගත රංගනයන් තමයි මේකේ තියන්නේ නමුත් ගැඹුරින් බැලුවම පේනව මේ කියන්නේ හෙල වෙදකමේ කියවෙන සන්නි රෝග ගැනමතමයි මේ කියන්⁣නෙත් කියල.
ඒ ශාන්තිකර්මය ⁣කරන්නෙත් රාජමුළු සන්නි යක්ෂයා ඇතුළු සන්නි යකුන් දහඅට දෙනෙකුගෙන් කෙරෙන ලෙඩරෝග දුරැකරගන්න.
එතකොට දැන්මේ සන්නි කියල රෝග ජාතියක් තියනවද? කෝ කාටවත් හැදෙනව අපි දැකල නෑනේ කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්.
මම ඒගැන තමයි අද කියන්න යන්නේ මේ සන්නි විවිධ පොත්වල,පුස්කොළ පොත්වල,මාතර,බෙන්තර,රයිගම ආදී විවිධ නර්තන සම්ප්‍රදායන්වල විවිධ නම්වලින් තිබුනට ⁣මොකද මෙහෙම රෝග ඡාතියක් අදටත් තියනව විතරක් නෙමේ ඔබට ඒව හැදෙන්නත් පුලුවන් .ඒවිතරකුත් නෙමේ ඔය ආයුර්වේද රෝහල්වල එහෙම වෛද්‍යවරු ඒවට ප්‍රතිකාරත් කරනව ....පුදුමයි නේද? මම අද ඒවගේ එක රෝගයක් ගැන කියන්නයි යන්නේ.බලන්නකෝ මේ කවිය මේක තියන්නේ දහඅට සන්නි පාලිය කියල පරන පුස්කොළ පොතක,උඩු කැත උඩුකැන්දේ ගෙදර රංකිරා කියල කෙනෙක්ටයි අයිති.
එක්අත එක්පය ඇගිලි වකුටු වෙති
එක් නෙත් ඇඳිරිව එකන් බිහිරි වෙති
ඵක් අත්සේ ගත වලංගු නැති වෙති
ඒකපාත සන්නිය පුද ඉල් ලති
එක්අත එක්පය ගමනෙනි එන් නේ
..................
මොකද්දො ලෙඩක ලක්ෂණ මතක්වෙනව වගේ නේද? ඔය කියන්නේ මේකනේ
*ශරීරයේ එකපැත්තක අත් පය කොර වෙනවලු ඒ කියන්නේ ක්‍රියා හානි වෙනවලු
*එකනෙතක් ඇදිරිවෙලා ඒපැත්තේ කන බිහිරි වෙනවලු
*එකඅතකින් එක පයකින්ලු ගමන ඒ කියන්නේ අනික් පැත්ත පනනෑ කියන එකනේ
දැන්ම් මතක්වෙනව නේද සීයට හැදුන ලෙඩේ.......කමක්නෑ අපි තවබලමුකෝ මේක තියන්නේ මහයක් කවි පොතේ නිවිතිගල ගණිතාචාර්ය ලියපු පොතක්
කොරවී අතපයරැදාවකර මින
දිරවා ඇඟපත සවිනැති කර වන
සන්දි සියලු තැන් තැන්වල කොර වෙන
කොරසන්නිය යකු පුද ඉල්ලා එන
දැන්නම් පැහැදිලි නේද?....
කොරසන්නියේ රංගන භාවනිරෑපනය ඕනැ ඊලග ටික තේරැම් ගන්න.
යකැදුරා සමග දෙබසක් කියාගෙන "සන්නිවීදියට"සන්නිය එන්නේ හැරමිටියකට වාරැවෙලා,
අතක් කොරයි ඒක වැලමිට ලගින් නමාගෙන පපුවේ තියාගෙන ඉන්නේ,
මැනික්කටුව ලගිනුත් අත නැමිල ඇගිලි විකෘති වෙලා.
ඒ පැත්තෙම කකුලේ දනහිස නමන්න බෑ කොන්දෙන් උස්සලා අමාරුවෙන් ඇවිදින්නේ,
කතාවත් ගොතයි.
පොඩ්ඩක් සිහිමද ගතියකුත් පේන්න තියනවා.
දැන් බලන්කෝ කොරසන්නියේ වෙස් මූන....
මුනෙත් පැත්තක් කොරවෙලා , එක ඇහැකුත් වැහිල ඇඳිරි වෙලා,කටත් පැත්තකට ඇදිල ගිහිල්ල.සමහර වෙස්මුහුණු වල එක කණක් කුඩයි.ඇයි ඒ? කන් නෑසෙන බව නිරෑපනය කරන්න නේ.
තව සමහර කොර සන්නි මූනුවල මූනේ එකපැත්තක් වහගෙන ඉන්නේ මහා නාගයෙක්.ඒ මොකටද? මූනේ එකපැත්තක ක්‍රියා හානි වෙලා බව නිරෑපනය කරන්න.
වෙස්මුහුණු වල වර්ණගැන්වීමත් වැදගත් බොහොමයක් කොරසන්නි මුහුණු කලු පැහැයෙන් පාටකරල තියන්නේ "වාත දෝෂය "නිරෑපනයට කියලයි මම හිතන්නෙ.
ඩාවින්චිගේ චිත්‍රවල විතරක් නෙමේ කේත හංගල තියන්නේ.අපේ පැරැණ්නොත් කේත හංගන්න රැසියෝ
බෙර පදයේ "තිත් රෑපය" හා කවිය කියවෙන තාලය පවා රෝගය ගැන ඉඟි සපයනවා කොරසන්නියේ කවි කියැවෙන්නේ "මහ තනි තිතට" සන්නිය ඇවිදින්නෙත් ඒතාලෙට.ඒ මොකද්ද ඒ තාලේ? දන්න කෙනෙක්ගෙන් අහගන්නකො.මම විශ්වවිද්‍යාලයට එන්න කලින් උඩරට ,පහතරට,සබරගමු නැටුම් එහෙම ඉගෙන ගත්තා ඉතින් ඒ නිසා මට මේව තේරැම් ගන්න පොඩි පහසුවක් සැලසුනා........
ඔයාල දන්නව ඇතිනේ එක එක රෝගවලදි රෝගීන් අවිදින රටා තියනවනේ ඒවගේම රිද්මයන් තියනව.රිද්මයන් තියන්නේ සිංදුවලට විතරක් නෙවේ හොදේ..ඉංගිලිසියෙන් gait කියන්නේ ....ආන්න ඒකතමා මම කියන්නේ.ඒත් එච්චර ඕනේ නෑ දැන් පැහැදිලි අපි අර "අංශභාගය" කියන රෝගේ ලක්ෂණ වලට සමාන ලක්ෂණ නේද මේ කියන්නේ?
ආයුර්වේදයේ පක්ෂාඝාතය ,පක්ෂවදය,ඒකාංග රෝගය, කියලත් කියනවනේ.දැන් අපි බලමුකෝ ආයුර්වේද පොත් පත්වල මොකද කියන්නේ කියල
ගෘහිත්වාර්ධං තනෝර් වායුඃ..........
කියල පටන් ගන්න සංස්කෘත භාෂාවෙන් කියවෙන ලොකු සොලෝකයක් තියනවා ඒකෙ මෙහෙම කියනවා,
........කෘත්ස්නෝර්ධකායස් තස්‍ය ස්‍යාදකර්මණ්‍යො විචේතනඃ
ඒකාංගරෝගං තං කේචිදන්‍යෙ පක්ෂවදං විදුඃ.........
ඔය කියන්නේ මෙකයි කුපිත වාතය සිරැරෙන් අර්ධයක් ආක්‍රමණය කරල එහි සිරා හා ස්නායු විශේෂයෙන් වියලවල එසේම සන්ධි බන්ධන ලිහිල් කරල එම අර්ධ අකර්මණ්‍ය කරනවා ඒවගේම චේතනා නැතිකරනවා මෙය පක්ෂවදය හෙවත් ඒකාංග රෝගයයි.
ලැහැදිලියි නේද? උඩින් කියපු සන්නි වල රෝගලක්ෂණත් මේවමනේ...
හෙල වෙදපොත් වලනම් කොරසන්නිය කියන නමක් නෑ ඒ්ත් "කිරම"සන්නිය කියන රෝගයේ ලක්ෂණ වලට කොරසන්නිය හා ඒකපාත සන්නිය හරිම සමීපයි.කව්ද ඉතින් එහෙම කිව්වම දන්නේ නේද?
දැන් අපි බලමුකෝ ඉංග්‍රීසි දොස්තරමහත්තුරු මොකද කියන්නේ කියල.....
එයාල කියන hemiparesis නැත්නම් hemiplegia කියන රෝගයේ ලක්ෂණ වලට ලක්ෂණානුකූලව සංසන්දනය කරොත් නම් සමානයි.ඔයකියන රෝගය ගැන Taber's cyclopedic medical dictionary එකේ මෙහෙම කියනවා.
paralysis of one side of the body,usually resalting from damage to the corticospinal tracts of the central nervous system.ශරීරයේ එක්පැත්තක් පණනැති වීමක්ගැනමයි මේ කියන්නෙත්.
කෙ⁣ාහොම උනත් අපි රෝග සංසන්දනය කරන්නේ ලක්ෂණානුකූලව විතරයි ඒ මොකද රෝග ඇතිවීමට බලපාන හා රෝග ඇතිවන ආකාරය පදනම් කරගෙන වෛද්‍ය ක්‍රම දෙකක රෝග සංසන්දනය කරන්න බෑ.රෝගය ඇතිවන යාන්ත්‍රණය වෛද්‍ය ක්‍රම දෙකක් අතුර වෙනස් උනාට රෝගියා බාහිරට පෙන්නන ලක්ෂණ වෙනස් වෙන්නේ නෑනේ අන්න ඒකයි කාරනේ....
කව්ද එතකොට මේ විස්තර හොයන්නේ?
විස්තර හොයන්නේ ආයුර්වේදය සම්බන්ධ විශ්වවිද්‍යාල වල උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂක ශිෂ්‍යයෝ මමත් එහෙම කෙනෙක් නොවැ ඉතින්
මොකටද?
ඇයි අපි අපේ දේශීය හෙලවෙදකම වැලලෙන්න නොදී ගොඩගන්න එපෑ.
ඉතින් ඔයාල ආයුර්වේද නේ ....හෙලවෙදකම කියන්නේ ඒක නෙමේ නේ?
කව්ද කියන්නේ අපිත් ආයුර්වේදය,දේශීය චිකිත්සාව හා හෙලවෙදකම සෛද්ධාන්තික බටහිර වෛදවිද්‍යාව කියන හැමදේම ඉගෙන ගන්නවනේ අපිත් මේ ලංකාවෙ ඉපදුණු පාරම්පරික වෙදපරම්පරාවලින් පැවතෙන උදවිය තමා.මොකෝ අපි ඉන්දියාවෙන් මෙහෙට බැස්ස යැ?
දැන් එතකොට මේවට ප්‍රතිකාර ගන්නේ කොහෙන්ද?
ඇයි ආයුර්වේද රෝහල්වල කෙරෙනව කියල මම මුලිනුත් කිවවේ
බොරැ........ඔය සන්නිරෝගවලට පවා ?
ඔව් යන්නකෝ ගම්පහ ආයුර්වේදයට නැත්නම් බොරැල්ල ආයුර්වේදයට එහෙමත් නැත්නම් වෙන ආයුර්වේද රෝහලකට පක්ෂාඝාතයට කරන්නේ සන්නිරෝග චිකිත්සාව තමා.මොකද අපි හෙල වෙදකමත් දන්නවනොවැ.
තවත් සන්නියක් ගැන ලිපියකින් නැවත හමුවෙමු.
ආයු බෝවේවා....................

"ශ්‍රීලාංකීය දේශීය චිකිත්සාවේ සදහන් සන්නිරෝග හා පහතරට බෙන්තර සම්ප්‍රදායට අයත් සන්නියකුම ශාන්තිකර්මයේ සදහන් සන්නිරෝග පිලිබඳ සංසන්දනාත්මක හා විමර්ශනාත්මක අධ්‍යනයක්"
යන මැයෙන් BAMS උපාධි පාඨමාලාව සදහා මාවිසින් ඉදිරිපත් කොට පලකෙරැන පර්⁣යේෂන නිබන්ධනය ඇසුරිනි.
චායාරෑප :- අන්තර් ජාලයෙන්
.
වෛද්‍ය මාධව සිව්රංග සුමනවීර

සංජීවනී සොයා යාම

රාමායණය නම් ඉතිහාස ග්‍රන්ථයෙහි එන “ප්‍රාණදායක“ ඔසුවක් ලෙස සැලකෙන ‘සංජීවනී‘ නම් ශාකය ඉතාමත් මතභේදාත්මක ශාකයක් බව පෙනේ. රාවණගේ පුත් ඉන්ද්‍රජිත් නොහොත් මේඝනාදගේ හී පහරින් මරණාසන්නවූ රාමගේ සොයුරු ලක්ෂ්මණගේ ප්‍රාණ සුරක්ෂාව උදෙසා ඔසු නිමැවුම පිණිස අවශ්‍ය ඔසු පැළැටි භාරතයෙන් ගෙන ඒමට නිර්දේශ වන්නේ හනුමන්ට ය. එහිදී කෛලාස පර්වත හිසෙහි පවතින දිව්‍යමය වූ ප්‍රකාශ විමෝචක හෙවත් ආලෝක විහිදුවන ඔසු පැළෑටි හතරක් රැගෙන වහා පැමිණීම හනුමන් වෙත පැවරුණු කාර්ය යි. එකී ඖෂධ චතුෂ්කය වනාහි සංජීවනී (ජීවය දෙන්නා වූ), සන්ධානකර්ණී (බිදුණු අස්ථි පේෂී හා කරන්නා වූ), ස්වර්ණ්‍යකර්ණී (සමෙහි ස්වභාවය කාන්තිමත් කරන්නා වූ) හා විශල්‍යකර්ණී (ශල්‍ය නොහොත් ඊ හිස් ආදී අගන්තුක ද්‍රව්‍ය බැහැරට ඇද දමන්නා වූ) යන චතුෂ්කය යි. කෙසේ නමුත් නිසි ඖෂධය සොයා ගැනීමට නොහැකි නිසා (හෝ ඔසු ගුණ සුරැකීම උදෙසා සජීවීව ශාක රැගෙන ආයුතු නිසා හෝ) ගිරි හිස සමස්ථයෙන් ගෙන මෙහි සැපත් වූ බවයි ග්‍රන්ථයෙහි දැක්වෙන්නේ. ඒ ගෙනා සංජීවනීවලින් කළ ඔසු ලබා දීමෙන් මරණයෙහි ගිලී සිටි ලක්ෂ්මණ යළි ප්‍රාණ ලද්දේ වෙයි.
රාමායණය යනු අතිශයෝක්තියක් ලෙසින් ලියැවුණු ග්‍රන්ථයක් බව කිවමනා නොවේ. ඉන්ද්‍රජිත්ගේ විෂ හී සරින් ලක්ෂ්මණ මිය ගොස් සිටියා නොව විය හැක්ක නම් විසඥතාවයට පත්වීමයි. (unconsciousness or coma ) ඒ අනුව විසඥතාවයෙන් ඔහු මුදනු පිණිස ඔසු සැකසීමටයි සංජීවනී අවැසි වනුයේ. එසේ නම් සංජීවනී තුළ ඒ වූ ගුණ අත්‍යයන්ත ලෙසම පිහිටිය යුතුය. කෙසේ නමුත් සංජීවනී පිළිබද කථාවේදී පළමුව අපට තෝරා ගැනීමට මාවත් දෙකක් වේ. එකක් නම් සංජීවනී යනු හුදු මන!කල්පිතයක් බව හා එවැන්නක් නොපවතින බවයි. ඒ මග තෝරා ගන්නේ වී නම් ප්‍රවාහය මෙතෙකින් නවතිනු ඇත. අනෙක නම් මෙහි විලෝමය යි. සංජීවනී හුදු ප්‍රලාපයක් යැයි බැහැර නොකළ යුතු යැයි දෙවන මග තේරීමට සාධක කිහිපයක් වෙයි. පළමු වැන්න නම් සංජීවනී යන්න යෙදෙන එකම තැන රාමායණය නොවීමයි. මහාභාරතය වැනි අනෙක් ඉතිහාස ප්‍රවාදිත ග්‍රන්ථගතව ද සංජීවනී එන බවට තොරතුරු වෙත්. අනෙක් අතට ප්‍රවාදයන්හී දැක්වෙන පමනට මෙතරම් බලගතු ඔසුවක් පවතින්නේ වී නම් එහි ප්‍රයෝජනය අවශ්‍යයෙන්ම ගත යුතු හෙයිනි. එසේම සංජීවනී යන ඍජු සංස්කෘත නාමය නොවූවත් ජීවන්තී, ජීවක, ජීවභද්‍රා ආදී කොට සමතා නාමයන් සහිත විවිධ ඖෂධ වර්ග ආයුර්වේදයේ ද හමු වන නිසා සංජීවනී හුදු ප්‍රලාපයක් ලෙස බැහැර කළ යුතු යැයි නොහැගෙනු ඇත. එසේත් නොමැති වී නම් සංජීවනී යන නාමය ඒ බදු ගුණ යුත් ශාක සමූහයක් උදෙසා ව්‍යවහරිත ඒකීය නාමයක් ද විය හැක.
කෙසේ නමුත් සංජීවනී පිළිබද කරුණු සොයා යාමේදී භාවිතයට ගැනීමට තිබෙන්නේ ද මෙම සාහිත්‍යමය සාක්ෂ්‍ය පමණකි. ඒ වූ සාක්ෂ්‍ය මතින් යමින් සංජීවනී පිළිබද දක්වා ඇති ගුණයන් හා වඩාත් ගැලපෙන ශාකය තෝරා ගැනීම සාධාරණ වනු ඇත. සාහිත්‍ය මූලාශ්‍ර හා ජනවහර අනුව යමින් සංජීවනී ලෙස පිළි ගැනුම් කෙරෙන ශාක විශේෂ 17ක් පර්යේෂකයන් ලැයිස්තු ගත කර ඇති අතර ඉන් වඩාත්ම ගුණ හා ගැලපෙන ශාක තුනක් කෙටි ලැයිස්තු ගත කර ඇත. ඒ
1. Cressa cretica
2. Selaginella bryopteris
3. Desmotrichum fimbriatum ය.
මෙම ශාකත්‍රය අතරෙන් සංජීවනී සදහා වඩාත්ම සුදුස්සා තෝරා ගැනීම සදහා භාවිත වූ මූලික නිර්ණායක කිහිපයකි. ඉන් පළමුවැන්න නම් යළි ප්‍රාණ දායාද කිරීමේ ඇති හැකියාවයි. පෙර දැක් වූ පරිද්දෙන් මළ අයෙක් නැගිට්ටවීමට කිසිත් ඔසු නොමැති අතර විසඥතාවය දුරලීමට සමත් ඔසුවක් නම් විය හැකිය. ඒ අනුව මේ අතරෙන් කවරක් විසඥතාවය (unconsciousness or coma) සදහා උපයුක්ත කොට ගත හැක්කේ ද යන්න පරික්ෂා විය යුතු ය. දෙවැන්න නම් සමතාවයෙන් සමතාවය නැසීමේ යාන්ත්‍රණය නොහොත් ස්වභාව රීතිය යි. ‘යත්‍ර ආකෘති තත්‍ර ගුණා! වසන්ති‘ යනුවෙන් දක්වන්නේ ද මෙයයි. එනම් මරණාසන්න තත්වයෙන් යමෙක් මුදවාලීමට සංජීවනියට හැක්කේ ද ඒ අයුරින් ම මරණාසන්න මොහොතේදී තමාට ද සුරක්ෂා විය හැක්කේම ය යන සමතාවය යි. මෙකී කරුණු මත සිට සංජීවනී සදහා සුදුස්සා තේරීම විය යුත්තේ ය.
තමාගේ මරණය වළක්වා කාලතරණය කළ හැකි ශාක (poikilohydric) පවතින අතර ඒවා නියං සමයන්ට ඔරොත්තු දෙමින් ස්වකීය පැවැත්ම තහවුරු කර ගනියි. මෙවැනි ශාකවල ඒ අදාල ජාන භෝග වලට බද්ධ කිරීමෙන් නියගයට ඔරොත්තු දෙන භෝග වර්ග ද නිපදවා ගැනේ. ඒ අතුරු කථාවෙකි. කෙසේ නමුත් සංජීවනී ද මේ කියන ආකාරයේ ජල කළමනාකරණය මැනවින් සිදු කර ගත හැකි, නියගයට ඔරොත්තු දෙන ආකාරයේ ශාකයක් විය යුතු ය. මේ අනුව ඉහත වර්ග තුන අතරෙන් මේ ගුණය හා මැනවින් පෑහෙන්නේ Selaginella bryopteris ය. මෙය කදුකර ප්‍රදේශයන්හී ගල් තලා ආශ්‍රිතව වැවෙන පැළෑටියක් වන අතර දැඩි නියගයන් සදහා මැනවින් ඔරොත්තු ද දෙයි. එනම් ස්වකීය මරණය තරණය කළ හැක්කේ වෙයි. එසේම මෙම වර්ගය සතු ව ඖෂධීය ගුණයන් ද බොහෝ පවතින අතර ප්‍රාදේශීය චිකිත්සාවලීන්හිදී ද මෙය ඔසු පිණිස යෙදේ. විවිධ පර්යේෂණයන්හිදී Selaginella bryopteris පාරජම්බුල විකිරණයන්ට හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට නිරාවරිත වීම නිසා සෛල තුළ අති වන විකෘති වීම් (Oxidative stress) මෙමගින් සන්සිදවීමට හැකි බව තහවුරු කර ඇත. මෙම ඔක්සිකාරික ආතතිය ස්නායු පද්ධතියේ ක්‍රියා හානියට බලපාන බවත් Selaginella bryopteris මගින් එකී ආතති සමනය කිරීමෙන් ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇති වන ඒ බදු සංකූලතා මැඩලිය හැකි බවත් මතය යි. කෙසේ නමුත් එය විසඥතාවය උදෙසා උපයෝග කොට ගත හැකි බව නම් මෙතෙක් තහවුරු කෙරී නැත.
Desmotrichum fimbriatum ද බොහෝ විට ඔසු පිණිස යෙදෙන පරිසර සාධක සදහා ප්‍රතිරෝධී වූ අපිශාකිත උඩවැඩියාවකි. නමුත් මෙය සංජීවනී නමින් ප්‍රබලව ව්‍යවහාර නොකෙරෙන අතර Selaginella bryopteris මෙන් සෛල මත ඇති කරන බලපෑම හීන ය. මේ අනුව සංජීවනී ලෙස වඩා ගැලපෙන්නේ Selaginella bryopteris බව පර්යේෂකයන්ගේ මතය යි.
කෙසේ වෙතත් වෙනත් ජනවහර හා බැදි කළ පර්යේෂණවලදී සංජීවනී ලෙස සාම්ප්‍රදායිකව භාවිත වන ශාක වර්ග කිහිපයක් ද හමු වී ඇත. බටහිර හිමාලය,නේපාලය වැනි ප්‍රෙද්ශවල ජනයා ශාක වර්ග දෙකක එකතුවක් සංජීවනී ලෙස භාවිත කරයි. ඒ Saussurea gossypiphora හා Pleurospermum candollei ය. ඔවුන්ගේ මතය නම් සංජීවනී යනු ඔසු කාණ්ඩයක් බවත් Pleurospermum candollei යනු මෘත සංජීවනී යන ඒකීය ශාකය වන බවත් ය. නමුත් මෙම ශාක සදහා සංජීවනී පර්යායක් නොවන අතර ඵේන කමල් සහ කස්තුරි කමල් ලෙස මේ වර්ග ද්වය හදුන්වනු ලබයි.
හිමාලයේ වඩා ඉහළ ප්‍රදේශවලින් හමු වන ‘සෝලා‘ ලෙස ප්‍රාදේශීවය ව්‍යවහාර කෙරෙන rhodiola rosea නම් ශාකය ද ඇතැම් පර්යේෂකයන් සංජිවනී ලෙස හදුන්වන අතර එහි භාවිත අනුව සංජීවනී ලෙස පිළිගැනීමට නොහැකියාවක් ද නොපෙනේ. මෙයට ගැමා විකිරණ පවා පාලනය කිරීමේ හැකියාවක් පවතින අතර ඉතා හොද ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ද ක්‍රියා කරයි. වයස් පාලනය ද හානි වූ පටක යළි ප්‍රකෘතිමත් කිරීමට හා අඩු ඔක්සිජන් සාන්ද්‍රණයන්හිදී ස්නායු සෛල සුරක්ෂා කිරීමට ද එය සමත් ය. මෙහි ද ගැටළුව සංජීවනී ලෙස ඍජු හැදින්වීමක් මේ මත ද නොවීම යි.
මේ සියලු ශාක ඉන්දියාවේ සංජීවනී හෝ මෘතසංජීවනී ලෙස හැදින් වුවද ලංකාවේ සංජීවනී ලෙස ගැනෙන්නේ වෙනත් ශාකයකි. එය පර්ණාංගයක් වන actiniopteris radiata ය. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පමණක් නොව මැඩගස්කරය, අරාබිය, ඕස්ට්‍රේලියාව වැනි රටවල ද ව්‍යාප්තව පවතින නමුත් වදවී යන තර්ජණයට ලක් වූ ශාකයකි. මෙම ශාකය සම්බන්ධයෙන් වන ගැටළුව නම් මෙය සංස්කෘත බසින් සංජීවනී ලෙස නොව ‘මයුරශිඛ‘ යන නමින් හැදින්වෙන වෙනම ශාකයක් වීමයි. මේ සදහා වන අනෙක් පර්යාය නාමයන් නම් ‘ නීලකාන්තශිඛ‘,‘සහස්‍රා‘ යනාදිය යි. (සංජීවනී යනු මෙය නම් නිතැතින්ම සංජීවනී පර්යාය මේ සදහා යෙදෙනු ඇත.) කෙසේ නමුත් ඔසු ගුණ යුත් මෙම ශාකය කාන්තාවන්ගේ සරුබව ඇති කිරීමට සමත් ය. එසේම ප්‍රතිශක්තිය නැංවීම කෙරෙහිද, රක්ත ස්තම්භනය (රුධිර වහණය වැළැක්වීම) පිණිසද, මුත්‍රණ ව්‍යුහාව ආශ්‍රිත ආබාධ තත්වයන්හිදී ද භාවිත වේ.
මේ සියලු දත්ත මත පදනම්ව සංජීවනී යැයි ශාකයක් වේ නම් මේ වන විට පිළිගැනුම් කරනුයේ Selaginella bryopteris ය. ගුණ සලකා බැලූ කළ සංජීවනී පර්යාය නොවූවත් මීළගට පෑහෙනු ඇත්තේ rhodiola ය. කෙසේ නමුත් සංජීවනී තවමත් අභිරහසකි.

පර්යේෂණ පත්‍රිකා හා වෙනත් මූලාශ්‍ර කිහිපයක් ඇසුරෙන් කළ සටහනක් බව සලකන්න.


වෛද්‍ය ජනක ජයලත්



රත කල්කය බිලිදාට අහිතකරද?

රතකල්කය යනු අතීතයේ බහුලව යෙදූමුත් වර්තමානයේ ඉතා අඩුවෙන් යොදා ගන්නා ආයුර්වේද ඔසුවකි.සෑම අලුත උපන් දරුවකුටම රත කල්කය නිර්දේශ කරනු ලබයි.රතකල්කය මෙසේ නොයෙදීමට හේතුව එය බිලිදාට අහිතකරද යන්න හරිහැටි නොදැනීමයි.ඒ නිසාම අද සිට රත කල්කය ගැන නූතන විද්‍යානුකූලව හා ආයුර්වේදානුකූලව පහදා දීමට කටයුතු කරමි.

මුලින්ම බලමුකො මොනවද මේ රත කල්කයේ අඩංගු කියලා.

1.කොල්ලු
2.වදකහ
3.වැල්මී
4.රත් හදුන්
5.සුදු හදුන්

මෙම සියලු ද්‍රව්‍යය සම ප්‍රමාණ වලින් අඩංගු වේ.
6.සහිද ලුණු-බරට බරක් අඩංගු වේ.
7.දෙහි යුෂ-ඇඹරීමට යොදා ගැනෙන්නේ දෙහි යුෂය.

රත කල්කයේ තිබෙන්නේ ඔපමනයි.
ඉහත 1,6 ද්‍රව්‍යය අවශ්‍ය  ප්‍රමාණ වලින් ගෙන වෙන වෙනම කුඩුකර හලා එකට මිශ්‍ර කර දෙහි යුෂයෙන් අඹරා ගැනීමෙන්  රත කල්කය සකසා ගැනේ.මෙහිදී වදකහ මදක් කබලේ බැද කුඩුකර ගැනීම පහසුය.ඉන්පසු සියල්ල දෙහි යුෂ වත්කරමින් කල්ක පදමට අඹරා ගැනේ.ඉන්පසු හුලං නොවදින භාජනයක අසුරා ගැනීමෙන් කල්තබා ගත හැකිය.


රත කල්කයේ අඩංගු දෙයක් වන කොල්ලු ගැන දැනගනිමුකො.

කොල්ලු  (Macrotyloma uniflorum(horse grame)

කොල්ලු වියළි බරින් ග්රෑම් 100 ක් ගත් විට එහි පේෂක පදාර්ථ අඩංගු වන්නේ පහත පරිදිය.

ප්‍රෝටීන-22%
කාබෝහයිඩ්රේට-57.2%
තන්තු කොටස්-5.3%
මේදය-0.5%
කැල්සියම්-මිලි ග්රෑම් 287
පොස්පරස්-මිලි ග්රෑම් 311
යකඩ-මිලි ග්රෑම් 6.77
කැලරි-කිලෝ කැලරි 321
තයමීන්-මිලි ග්රෑම් 0.4
රිබෝෆ්ලෝවීන් -මිලි ග්රෑම් 0.2

දැං තවත් ගැබුරට යං.අඩංගු රසායනික ගැනත් හොයමුකො.

Momo inositol
Linolic acid
ethyl alpha d glucopyranoside
vitamin E
Stigmasterol
allontoinase

මෙම ද්‍රව්‍යය  වල කිසිදු විෂ පදාර්ථයක් නැත.එනම් කොල්ලු වල අතුරු ආබාධ කිසිවක් වාර්තා නොවේ.

මූලික රසායනික වල ප්‍රයෝජනත් බලමුකො.

Mome inositol යනු පැනි රස ද්‍රව්‍යකි.ස්නායු පෝෂකයකි.අක්මාවේ සෑදෙන සිරෝසිස් රෝගයට එරෙහිව ක්‍රියා කරයි. තට්ටය පෑදීම වලකයි.එනම් කෙස් වඩවයි.
කොලොස්ටරෝල් වැනි අනවශ්‍ය මේද කොටස් බිද දමයිlinolic acid යනු දියවැඩියාව පාලනයට ඉතා හොද රසායනයකි. ප්‍රතිඔක්සිකාරකයකි.ප්‍රතිශක්තිය වඩවන්නකි. අනවශ්‍ය මේද කොටස් බිද දමයි. මෙය අක්මාව ආරක්ෂා කරයි.මෙසේම අනෙකුත් රසායන වලද ප්‍රතිඔක්සිකාරක ගුණ ආදී ගුණ පවතී. ශරීරයට අහිතකර රසායන කිසිවක් කොල්ලු වල අඩංගු නොවේ. දැන් අපි ආයුර්වේදයේ සදහන් ගුණත්බලමුකො. කොල්ලු කඵ වාත ශාමකයි.මද විරේක ගුණයෙන් යුක්තයි. ඇදුම,හික්කාව ,කාසය දුරලයි.මූත්‍රා ගල්,අම්ල පිත්ත,පීනස,උන,දාහය,තරබාරු බව දුරලයි.

වදකහ (Acrous calamus Linn)

රතකල්කයේ අඩංගු ද්‍රව්‍යය 8න් එකක් වන්නේ වදකහ.අද අපි බලමුකො මොණවද මේ වදකහ වල ගුණ හා ඒවායේ අහිතකර දේවල් තියෙනවාද කියලා.
වදකහ ශාකය ලොව පුරා රටවල් ගනනාවකම වසර 5000කටත් පෙර සිටම ඔසුවක් ලෙස යොදාගෙන තිබෙනවා. ඒ අතර ඉන්දියාව,චීනය,කොරියාව,ඊජිප්තුව ප්‍රධානයි.ඒ නිසාම මෙම ශාකය සුවකිරීමේ පැලය ලෙසටත් හදුන්වනවා.

මෙම ශාකයේ අල කබලේ මදක් බැද කුඩුකර තමා කල්කයට යොදා ගන්නෙ.
එහි කාබෝහයිඩ්රේට යම්  ප්‍රමාණයකුත්,පොටෑසියම්,කැල්සියම්,පොස්පරස්,මැග්නීසියම් වැනි අත්‍යවශ්‍යය ඛණිජ වර්ග හා අත්‍යවශ්‍යය මේද අම්ලත් බහුලව පවතිනවා.
මේ මේද අම්ල අතර සිරුරට ඉතා වැදගත් වන palmitic,myristic,palmitoleic,oleic ආදිය වනවා. තවද සිරුරට ඉතා හිතකර වන  ප්‍රතිඔක්සිකාරකත් බහුලව අඩංගු වෙනවා.
සමහර රටවල මේක කුලුබඩුවක් හා තේ ලෙසත් යොදා ගන්නවා.
නවීන විද්‍යාත්මක පරීක්ෂකයන් නම් කියන්නෙ මෙය වෛද්‍ය උපදෙස් වලින් තොරව යොදාගන්න එපා කියලයි. මමත් ඒ මතය අනුමත කරනවා.පස්සෙ කියන්නම්කො ඇයි කියලා.ඒ නිසා මෙය පෝෂණ අතිරේකයක් ලෙස යෙදීම නම් සුදුසු නෑ. මේවා ඔසු.

වදකහ අලයේ අඩංගු  ප්‍රධානම රසායනික සංගටක 15ක් පමණ සොයා ගෙන තිබෙනවා.
ඒ අතර calamene,calamenol,pinene,euginol,,acorenone,glycosides,terpenoids,sterol,asarone
අඩංගු වෙනවා.asarone හැර අනෙක්  ද්‍රව්‍ය සිරුරට අහිතකර නෑ. නමුත් asarone බහුලව ගැනීම සිරුරට අහිතකරයි. මෙන්න මේ නිසයි මෙය වෛද්‍ය උපදෙස් අනුව ගත යුත්තේ.
වදකහ වැඩියෙන් ශරීර ගත වීමෙන් වමනය,ඔක්කාරය,වලිප්පුව,කුෂ්ට රෝග ඇතිවන්නට පුලුවන්.

වදකහ වල ඔසු ගුණ බහුලයි.මෙය මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියා කරන  ප්‍රධාන ඔසුවක්.
E choli හැර අනෙකුත් බැක්ටීරියා නාශක හැකියාව ඉහල අගයක පවතිනවා.
හොද විෂබීජ නාශකයක්. ප්‍රතිශක්තිය ඉහල නංවන්නත් මෙයට පුලුවන්.අනවශ්‍ය රුධිර කැටි දියකරන්නත් මෙයට පුලුවන්. අනවශ්‍ය මේද හරන හැකිොවත් පවතිනවා.මේ සියලු ගුණ පර්යේෂණ සිදුකර සනාථ කරලායි තිබෙන්නෙ.

දැන් බලමුකො ආයුර්වේදයට අනුව ගුණයන් ගැන.මෙයට හූරා ඉවත් කිරීමේ හෙවත් ලේඛණීය ගුණය පවතිනවා. ආහාර රුචිය ඇතිකරන්නටත්,ආහාර දිරවන්නටත් උදවු වනවා.සංජනන හෙවත් සිහිය ඇතිකරනවා. ශීතල නසනවා, බුද්ධි වර්ධනයකරනවා. ස්වරය හෙවත් කථාව ඇතිකරනවා.උන්මාදය නසනවා.විෂබීජ හරණය කරනවා.
භූතයන් පලවා හරිනවා.මල මූත්ර පිරිසිදු කරනවා..උන නසනවා.මල බද්ධය නැති කරනවා..කඵ වාත ශමනය කරනවා. නමුත් උෂ්ණයි.මේ නිසා උෂ්ණ ඇගවල් ඇති අයට බහුලව භාවිතය නුසුදුසුයි.

වදකහ වලින් නිපදවෙන වාෂ්පශීලි තෛලයේ බොහෝ ඔසු ගුණ පවතිනවා.මෙහි තමයි asarone අඩංගු වන්නේ. මෙම තෙල කැස්සට හදන පැණි වර්ග වල බටහිර වෛද්‍ය විද්‍යාවෙත් යොදා ගන්නවා.මෙහිත් ප්‍රතිඔක්සිකාරක බහුලයි.

ඉතින් මෙතරම් ගුණ තිබෙන රත කල්කය කවුරුත් කී පලියට දරුවාට නොදී ඉන්න එපා.අමුතුවෙන් පර්යේෂණ කරන්න දෙයක් නෑ.අවුරුදු 5000කටත් වැඩි කලක් මෙය යෙදුවත් කිසිම අතුරු විපාකයක් වාර්තා වෙලා නෑ.කෙසේ වෙතත් අපි විද්‍යාත්මක පර්යේෂණත් කරලා තියෙනවා.



වෛද්‍ය කල්පනා ජයශ්‍රි



Thursday, December 14, 2017

කාමරංගා අර්බුදය

කාමරංගා මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ දියවැඩියාව පාලනය උදෙසා එහි ඇති හැකියාව නිසා බව අමුතුවෙන් කිව මනා නොවේ. නමුත් සමස්ථ ලෝකයේම කාමරංගා පිළිබද අවධානය යොමු වූයේ එය සතු සුවිශේෂී ගුණාංග කිහිපයක් නිසාවෙනි. එක් අතකින් එය රුධිරගත සීනි මට්ටම යාමනය කිරීමට දායක වනවා සේම රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කිරීමට සමත් ය. එසේම අද ලෝකයේ පිළිකා සහ වෙනත් බෝ නොවන රෝග පාලනය කෙරෙහි වැඩිමනත් බලපෑමක් එල්ල කරනු ලබන සංඝටකයක් ලෙස සැලකෙන ප්‍රති ඔක්සිකාරක (Anti-oxidants) වලින් ද කාමරංගා පොහොසත් ය. මේ ආදී හේතූන් නිසා කාමරංගා ඉතා ජනප්‍රිය පළතුරක් වූවා සේම ඊට හොද ප්‍රචාරණයක් හා පිළිගැනීමක් ද ලැබුණි. විටමින් සී, epicatechin හා gallic acid වැනි ප්‍රති ඔක්සිකාරක, folates, riboflavin හා pyridoxine වැනි බී කාණ්ඩයේ විටමින ආදී පෝෂකයන්ගෙන් අනූන තන්තු සහිත පළතුරක් වූ කාමරංගා සතු ඉහළ ඔක්සලික් අම්ල ප්‍රතිශතය හා caramboxin නම් ස්නායුක විෂ පදාර්ථය අද වන විට එහි ගුණ වසා ප්‍රකට වන බවක් පෙනේ.
මෙම කාමරංගා පිළිබද සංවාදයට තුඩු දුන් විශේෂඥ වෛද්‍යතුමන් දක්වන කරුණු (ඇතැම්විට එය නැවත ලියූ මාධ්‍යවේදී මහතා දැමූ ආලවට්ටම් ද විය හැක.) පිළිබද සියයට සියයක් එකග විය හැකි ද යන්න ගැටළුවකි. කාමරංගා සතු ඔක්සලේට් ගැටළුව සැබෑවක් නමුත් එය අද ඊයෙක මතු වූවක් නොවේ. ඔක්සලේට් වල ගැටළුව තිබෙන්නේ ද ඒවා කැල්සියම් සමග බැදී සාදන කැල්සියම් ඔක්සලේට් ස්ඵටික මුත්‍රාශ්මරී ඇති කිරීමට දක්වන සමත්කම යි. නමුත් එය වෘක්ක අකර්මණ්‍යතාවයක් තරම් වූ සංකීර්ණ තත්වයක් කරා සැණින් පෙළඹේ යැයි සිතීම නම් අභව්‍ය වූවකි. ආහාරයක පවතින ඔක්සලේට අවශෝෂණය කරනුයේ මූලිකව මහාන්ත්‍රයෙනුත් අතිරේකව කුඩාන්ත්‍රයෙනුත් ය. මීට අමතරව ශරීරය තුළ ම නිපදවෙන ඔක්සලේට් ප්‍රමාණයක් ද පවතී. මේ කුමන ආකාරයේ හෝ ඔක්සලේට රුධිර ධාරාවට එක් වී වෘක්ක හරහා පෙරී යයි. අවශෝෂණය නොවූ ඔක්සලේට මල මගින් බැහැර වෙයි. රුධිර ධාරාවට එක් වූ ඔක්සලේට කැල්සියම් සමග සම්බන්ධ වූ විට ජල අද්‍රාවී කැල්සියම් ඔක්සලේට් ස්ඵටික තනයි. මෙම ස්ඵටික තරමක විශාල ඒවා නම් වෘක්ක තුළ පවතින කුඩා නාල අවහිර විය හැකි අතර මෙය සාමාන්‍යෙයන් දක්වන මුත්‍රාශ්මරී නැතහොත් ‘වකුගඩු ආශ්‍රිතව ඇති වන ගල්‘ තත්වය යි. මෙම තත්වය ඇති වීම කෙරෙහි බලපාන එකම සාධකය ඔක්සලේට් අඩංගු ආහාර (මෙහිදී නම් කාමරංගා කෑම හෝ බීම) ගැනීමම යැයි පැවසීම කෙතරම් සාධාරණ ද? මෙම තත්වය ඇතිවීමට නම් ඔක්සලේට් මෙන්ම රුධිරයේ කැල්සියම් මට්ටම ද ඉහළ අගයක තිබිය යුතු ය. අනෙක් කාරණය මෙම ස්ඵටික නිර්මාණය වන්නේ ඉහළ සාන්ද්‍රණ අගයක දී ය. එනම් ජලය භාවිතය ඉතා අඩු විටදී ය. මේ සියල්ල අතහැර කාමරංගා වලට ඇගිල්ල දික් වන්නේ ඇයි?
අනෙක් කාරණය නම් සෑම ශාකයකම පාහේ ඔක්සලේට් අන්තර්ගත ය. ශාක තුළ කැල්සියම් සංචායක උපක්‍රමයක් ලෙස එය ක්‍රියාත්මක වේ. නමුත් ශාකයක අන්තර්ගත ඔක්සලේට ප්‍රමාණය විචලනය කරන සාධක ගණනාවක් පවතී. එකම විශේෂයේ වුවත් ශාක දෙකක් පිහිටන පරිසරය, ජලයෙහි හා පසෙහි සංයුතිය ආදී කාරණා මත එය වෙනස් වේ. උදාහරණයක් ලෙස අර්තාපල් අලවල පවතින ඔක්සලේට් ප්‍රමාණය අර්තාපල් අල ග්‍රෑම් 100කට මි.ග්‍රෑ. 5.5 සිට 30 දක්වා වූ විශාල පරාසයක් තුළ පවතියි. එම පරාසය තීරණය කරනුයේ ඉහත පාරිසරික සාධක යි. එය හුදෙක් ගසෙහිම ප්‍රශ්නයක් නොවේ.
දෙවන කාරණය ඔක්සලේට් අන්තර්ගත එකම ප්‍රභේදය කාමරංගා ද යන්න යි. කාමරංගාවලට ඉහළින් ඔක්සලේට හෝ ඔක්සලික් අම්ලය අන්තර්ගත ආහාර බොහොමයක් වාර්තා වෙයි. ඒ අතර අර්තාපල්, බීට්, ආමන්ඩ්, පීනට් බටර්, අෆ්‍රිකට්, තක්කාලි, තද කොළ පැහැති එළවළු මේ සියල්ල වෙයි. මීට අතිරේකව චොකලට්, කෝලා බීම හා කෝපි ද ඔක්සලේට දරයි. එවිට ඔය කියන ගැටළුව කාමරංගාවලට පෙර මේ ආහාර වලින්ද මතු විය යුතු ය. එසේම විටමින් සී සහිත ඕනෑම ආහාරයක් නිසා ද මේ ගැටළුව ඇති විය හැක. මන් ද විටමින් සී පරිවෘත්තියේදී ඍජුවම ඔක්සලේට බවට පරිවර්තනය වීමට දරන හැකියාවයි. ඒ අනුව විටමින් සී පෙති ගිලින්නන් ගැන කුමක් නම් කිව මනා ද?
තුන්වන කාරණය මේ ඔක්සලේට අඩංගු ආහාර ලබා ගත්ත ද අපගේ ආන්ත්‍රික බැක්ටීරියා කොලනි මගින් ඒ මත සිදු කරන කාර්යය යි. oxalobacter formigenes නම් බැක්ටීරියා විශේෂය මගින් ආහාරයෙහි පවතින ඔක්සලේට බිද හෙලා අවශෝෂණය අඩාල කරයි. නමුත් ඉවක් බවක් නොමැති ප්‍රතිජීවක භාවිතය නිසා මෙම කොලනි ද වැනසී යයි. ඉන් සිදු වන්නේ ඔක්සලේට ශරීරය තුළ සාන්ද්‍රණය වීමයි.
මේ සියල්ල අතහැර කාමරංගා වෘක්ක අකර්මණ්‍ය කරන මහා භූතයෙක් ලෙස හුවා දැක්වීම කිසිසේත් ම සාධාරණීකරණය කළ නොහැකි වනු ඇත. මීට අදාලව සිදු වූ පුද්ගලානුබද්ධ අධ්‍යයනයන් (Case studies) දෙකක් තුළදී පමණක් වකුගඩු ආබාධිත පුද්ගලයන් දෙදෙනෙක් ගේ එම තත්වය උත්සන්න වීමට නිතර කාමරංගා අනුභවය හේතු වී යැයි නිගමනය කළ වාර්තා දෙකක් පවතියි. එහිදී ද අවධාරණය කළ යුත්තේ ඔවුන් ඒ වන විටත් වෘක්කාබාදයන්ගෙන් පෙළෙමින් සිටි අය විනා කාමරංගා කෑමෙන් වෘක්කාබාධ ඇති වූ අය නොවන බවයි. අනෙක් කරුණු ඒ සදහා බලපෑ එකම සාධකය කාමරංගා ලෙස නිගමනය කළේ කිනම් පදනමක සිට ද යන සාධාරණ සැකයයි. වෘක්කාබාධ තත්වයන්ගෙන් පෙළෙන අයට අපත්‍ය ආහාරයක් ලෙස කාමරංගා දැක්වීමෙහි දෝෂයක් නොදකිමු.(ඊට කාමරංගාවලට අමතරව ඔක්සලේට බහුල අනෙක් ආහාරද ඇතුළත් විය යුතුය.) ඒ එහි ඇති ඔක්සලේටවල ක්‍රියාව මෙන්ම caramboxin ස්නායු විෂ පදාර්ථයෙහි ක්‍රියාව නිසාවෙනි.(මෙය අදාල වාර්තාවේ දැක්වීමට ස්මරණ නොවූ හැඩයි.) වෘක්කීය ක්‍රියා නිසි පරිදි සිදු නොවන විට එකී විෂ පදාර්ථය ශරීරය තුළ ශේෂ වීමෙන් ස්නායු පද්ධතිය ආශ්‍රිත සංකූලතා ඇති කරනු ඇත. වෘක්ක නිරෝගී නම් එම පදාර්ථයන් ශරීරයෙන් බැහැර කරනු ඇත.
ආයුර්වේදයෙහි කඵ වාත ශාමක ඔසුවක් ලෙස ද දක්වන කාමරංගා පොදු සමාජය තුළ කොතෙකුත් අපි පරිභෝජනය කර ඇත්තෙමු. නමුත් මෙවැනි හදියක් මෙතෙක් කල් සිදුව නැත. ගෝලීය සමාජය තුළ මීට කලකට පෙර සාකච්ඡා වූ කාමරංගාවල ඇති මේ අගුණ ද්වය එකවරම මෙරට සමාජය තුළ ඉස්මතු වූයේ ඇයි ද යන්න ද ගැටළුවකි. කෙසේ නමුත් මේ පිළිබද මාගේ නම් අදහස වෘක්ක ආශ්‍රිත ආබාධ තත්වයක් හෝ මුත්‍රාශ්මරී පිළිබද ගැටළුවක් නොමැති නම් කාමරංගා ගැන අනියත බියක් ඇති කර නොගත යුතු බවයි. ඕනෑම දෙයක හොදක් සේම නරකකුත් ඇත. එසේ නොමැති ඔසුවක් නම් ඒ අමෘතයම ය. එනයින් ගත යුතු තැන ගෙන හරලිය යුතු තැන හැරලිය යුතු ය. මේ සියල්ල මෙසේ තිබියදී ලක් වැසි සැමට තවත් සතියකට දෙකකට කතා කිරීමට හොද මාතෘකාවක් ලැබී ඇත. ඒ කතාව අතර තුර වාසි ගන්නෝ සිය වාසි උපරිමයෙන් ග්‍රහණය කරගනු ඇත.

වෛද්‍ය ජනක ජයලත්


සතකුප්ප/ ශතපුෂ්පා (Anethum sowa/ A. graveolens)

ශතාහ්වා, පීතිකා, මාධවී, අතිඡත්‍රා, කාරවී ආදී සංස්කෘත පර්යායන්ගෙන් හදුන්වන සතකුප්ප Apiaceae පවුලට අයත් කුඩා පැළෑටියකි. අලංකාර කහ පැහැති මල් සහිත ඡත්‍රාකාර පුෂ්ප මංජරියක් දරන මෙහි ඔසු පිණිස වඩාත් බහුලව භාවිත වන්නේ බීජ වුවත් පත්‍ර හා සමස්ථ ක්ෂූපයම ඖෂධීය ගුණ යුක්ත ය. කුළු බඩුවක් ලෙසත් ආහාර රසකාරක හා රුචිකාරක ද්‍රව්‍යයක් ලෙසත් බොහෝ විට සතකුප්ප පෙර‘පර දෙදිගම භාවිතා වේ.
රසයෙන් කටු හා තික්ත ද ගුණයෙන් ස්නිග්ධ ද වීර්යයෙන් උෂ්ණ ද විපාකයෙන් කටු ද වන නිසා වාතයත් කඵත් ශමනය කිරීමට සමත් ය. එසේම අධි මාත්‍රාව පිත්ත වෘද්ධිකරයි. චරක සංහිතාවේ සතකුප්ප විශේෂිතව දක්වන්නේ ආස්ථාපනෝපග හා අනුවාසනෝපග ගණයන්හී වස්ති සදහා ප්‍රයෝජ්‍ය ද්‍රව්‍යයක් ලෙසයි. වස්ති මගින් වාත දෝෂය ශමනය කරන අතර ශතපුෂ්පා ද වාත ශාමක හෙයින් ඒ කෙරෙහි වඩාත් උපයුක්තතාවය වනු ඇත.
ආයුර්වේදීය ග්‍රන්ථ තුළ මෙහි භාවිතාවන් සදහන් වන අතර භාවප්‍රකාශයේ හරීතක්‍යාදී වර්ගයේත්, ධන්වන්තරී නිඝණ්ඨුවෙහි ශතපුෂ්පාදි වර්ගයේත්, කෛයදේව නිඝණ්ඨුවේ ඕෂධීය වර්ගයේත්, රාජ නිඝණ්ඨුවේ ශතාහ්වාදී වර්ගයේත්, දක්වා ඇති චිකිත්සීය භාවිතයන් පහත පරිදි ය.
1. ජ්වර (උණ)
2. නේතව්‍රණ (ඇස් ආශ්‍රිත තුවාල)
3. අක්ෂි රෝග
4. පිපාස
5. ව්‍රණ (තුවාල)
6. වමන
මීට අමතරව මෙහි විශේෂිත ගුණ ලෙස
1. ශූලහර - වේදනා නාශක
2. දීපන - කුසගිනි වඩන
3. ගර්භ සංකෝචක
4. මේධ්‍ය - බුද්ධි වර්ධක ආදිය දක්වයි.
මීට අමතරව රුධිර පීඩනය පාලනය කිරීමේත් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමේත් හැකියාව ද සතකුප්ප සතු ය. කිරි දෙන මවු වරුන්ගේ ක්ෂීර වෘද්ධිය සදහාත් ආර්තවාභාවයෙන් පසු ඇති වන පශ්චාත් සංකූලතා වළක්වා ගැනීම සදහාත් ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීම සදහාත් නිද්‍රාල්පතාවයට සහනයක් උදෙසාත් සතකුප්ප භාවිත කළ හැකි ය.
මේ ගුණ මෙසේ වෙතත් වර්තමානයේ සතකුප්ප වලට සමාජය තුළ හිමි වන්නේ සාධනීය ස්ථානයක් නොවේ. ඊට හේතුව සතකුප්ප කූට ලෙස කාන්තාවන් වන්ධ්‍යාකරණය කිරීම සදහා භාවිතා කෙරෙන ද්‍රව්‍යයක් ලෙස සමාජ ගත වීම හා ඇතැම් විට එකී අරමුණින් විවිධ කණ්ඩායම් භාවිතා කිරීම යි. මෙලෙස සතකුප්ප කෙරෙහි අවධානය යොමු වන්නේ ද සතකුප්ප බහුල ලෙස කාන්තා රෝග සදහා යෙදෙන බැවිනි. ආර්තවය පමා වීම, වේදනාධික ආර්තවය (කෂ්ඨාර්තවය), අත්‍යාධික ප්‍රසව වේදනා ආදී අවස්ථාවන්හී සතකුප්ප ඉතා හොද ප්‍රතිඵල දායක ඔසුවක් නිසා වෛද්‍යවරු නිසි අවස්ථාවේදී අතිරේක ද්‍රව්‍ය සමග සම්මිශ්‍රව හෝ ඒකීයව උපයුක්ත මාත්‍රාවෙන් එය ප්‍රයෝග කරති. එසේම මද සරු භාවය සදහා ද ඒ ආකාරයෙන් ම මෙම ඖෂධය යොදනු ලබයි. එසේ නම් මෙහි ගැටළුව ඇත්තේ කොතැනක ද?
ගැටළුව නම් සතකුප්ප සතු ගර්භ සංකෝචක තාවයයි. ගර්භසංකෝචකතාවය නිසා වන්ධ්‍යත්වයක් ඇති විය හැකි ද? නැත. ගර්භාශ බිත්තියෙහි සංකෝචන සිදු වූවා යැයි වන්ධ්‍යත්වයක් ඇති නොවේ. නමුත් පිළිසිදගත් මවක විසින් සතකුප්ප භාවිත කළහොත් මෙම ගර්භාශ සංකෝචනය සැබැවින්ම ගැටළුවකි. එම සංකෝචනයන් නිසා කළලය විනාශ වී ගබ්සා වීම් ඇති වීම සිදු වේ. එබැවින් ගර්භණී කාන්තාවන් සතකුප්ප හැරලිය යුතු ය.
සතකුප්ප ද ඖෂධීය තේ පානයක් ලෙස භාවිත කළ හැකි අතර රුධිර පීඩනය, රුධිරගත සීනි මට්ටම හා කොලෙස්ටරෝල් මට්ටම ඉන් යාමනය වනු ඇත. එසේම සතකුප්ප, සුදු හදුන් හා සුවද කොට්ටං ගිතෙලින් අඹරා පැලැස්තර යෙදීමෙන් හිසරදයත් පේශීන්ගේ ඇති වන වේදනාවනුත් සමනය වේ. ආතරයිටිස් අවස්ථාවන්හී ද සන්ධීන්ගේ ඇති වන වේදනාවන් සදහා සමස්ථ පැළෑටිය ඇල් දියෙන් අඹරා සන්ධි මත පැලැස්තර යෙදිය ද හැක. මුඛ දුර්ගන්ධය සදහා සතකුප්ප බීජ කිහිපයක් හැපීමෙන් දුගද නැසී යනු ඇත.


වෛද්‍ය ජනක ජයලත්

Wednesday, December 13, 2017

අධි තාක්ෂණීක යුගයේ සිට යළි කැලෑ වැදීම නොහොත් ආහාර සංස්කෘතිය තුළ දේශීය සලකුණ තහවුරු කිරීම

අළුත උපන් බිළිදාගේ පටන් මහල්ලා දක්වාම අද සමාජය තුළ පවතින්නේ සෞඛ්‍යය කෙතරම් දියුණු වුවත් රෝග පීඩිත ජීවිතයන් ය. සෞඛ්‍ය සංඛ්‍යා ලේඛණවල සාඵල්‍යතාවයත් නූතන තාක්ෂණික වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමණයත් අපි මූලිකව මිණුම් කරන්නේ රෝහලට ප්‍රතිකාර සදහා යොමු වූ සාංඛ්‍යාවට සාපේක්ෂව ඉන් සුවය ලබා ගිය අයවලුන්ගේ මිණිත අගයන්ගෙන් විනා සමස්ථ ජන සමාජයට සාපේක්ෂව රෝගාතුර නොවී සෞඛ්‍යවත්ව ජීවත් වන අයවලුන්ගේ ප්‍රමාණිතයන් මගින් නොවේ. සැබැවින් ම අප අවදානය යොමු කළ යුත්තේ ඒ වෙත ය. එනම් ආතුර පරායනය හෙවත් රෝග රෝගී ප්‍රතිකාර පද්ධතීන් තුළින් සෞඛ්‍යයේ ගුණාත්මක බව තීරණය කිරීමට වඩා ස්වස්ථ්‍ය සංරක්ෂණය හෙවත් රෝගාතුර නොවී නිරෝගී බව පවත්වා ගැනීම තුළ එකී අගය සොයා ගැනීම පිණිස ය.
සංඛ්‍යාලේඛණවලට අනුව අද වන ලෝකයේ මිනිසුන්ගේ සෞඛ්‍යය කෙරෙහි සැලකිය යුතු මට්ටමින් බලපෑම් කරනුයේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, රුධිර නාලගත ආබාධ ආදී වූ බෝ නොවන රෝග ‘රැල්ල‘ යි. සැබැවින්ම එය අප විසින් ම අපේ ඇග මත පටවා ගත්තා වූ තත්වයක් විනා අනෙකෙකුගේ දායාදයක් නොව බව සිහි තබා ගත යුතු ය. ලෝක ජනගහනයෙන් වැඩි මනත් සංඛ්‍යාවක් මරු තුරුලට යවන්නට තරම් සැහැසි වූ මේ බෝ නොවන රෝග රැල්ලට ප්‍රධාන හේතූන් වන්නේ මිනිසාගේ ආහාර හා චර්යාවන්ගේ පවත්නා විෂමතාවන් ය. එය ආයුර්වේදයේ මීට වසර දහස් ගණනකට පෙර සිට ම සදහන් කර තිබුණේ ‘මිථ්‍යා ආහාර හා විහරණ‘ (වැරදි ආහාර හා චර්යා රටාව) ලෙසයි.
නූතන තාක්ෂණික ලෝකය ද අද වන විට මේ බව මැනවින් හදුනාගෙන තිබෙන අතර ඒ නිසා ම ආපසු හැරී ගල් යුගයට යාමට බටහිර ලෝකය තීරණය කර ඇත. අද ලෝකය තුළ ආහාර සංස්කෘතියේ වෙනසක් ඇති කරමින් ‘ගල් යුගයේ ආහාර රටාවකට‘ ( Paleolithic diet) හැඩ ගැසෙමින් පවතියි. මීට හේතුව අද සමාජය මුහුණ පා සිටින මෙම බෝ නොවන රෝග සදහා මූලිකවම බලපානු ලබන නව්‍ය ආහාර රටාව වර්ජනය කිරීමෙන් තොරව ඊට මුහුණ දිය නොහැකි බැවිනි.
තාක්ෂණික ශිල්ප ක්‍රම ඔස්සේ යමින් අපි අපගේ ආහාරය, ආහාරයට එහා ගිය විලාසිතාවක් බවට පත් කර ගත්තෙමු. ස්වභාවිකත්වයෙන් ඈත් වී කෘත්‍රීම ආහාර සංස්කෘතියක් කර පින්නා ගතිමු. ආහාරයේ ගුණාත්මක අගය (quality) ට වඩා එහි ප්‍රමාණාත්මක (quantity) බවට මුල්තැන දුන්නේ බඩ පුරවා ගන්නට මිසක ආහාරයෙන් ශරීරයට අත් විය යුතු ප්‍රතිලාභ පසෙකට විසි කරමිනි. අපේ සමාජයේ බොහෝ දෙනෙකුගේ දෛනික ආහාර වේල දෙස බැලූ විට පෙනී යන්නේ ශරීරයට ලබා දිය යුතු ඇතැම් පෝෂක පදාර්ථවල දෛනික අගයන් ගත් විට එකී පුමාණයන් අතිමහත් ලෙස ඉක්මවමින් පවතින අතර ඇතැම් පෝෂක පදාර්ථයන් ඉතා ඌන මට්ටමේ පවතින බවයි. උදාහරණයක් ලෙස ගත් විට වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ මානව ඒකෛකයෙක් හෙවත් තනි පුද්ගලයෙක් ගත් කල ඔහුගේ දෛනික ආහාරයන්ගේ පෝෂක පදාර්ථ විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ සීමාව ඉක්මවා ගිය කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයක් පවතින බව හා අත්‍යාවශ්‍ය විටමින හා ඇතැම් විට ප්‍රෝටීන අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතා පහළ අගයක පැවතීම යි. දෙවන ආහාර වේල මෙහි කණපිට ගැසූවක් විය හැක.
අද කාර්යබහුල ජීවිත ගත කරන මිනිසුන් බොහෝවිට හුරුවී ඇත්තේ ක්ෂණික ආහාර හා සකස් කළ ආහාර රටාවකට ය. පාසල් යන දරුවන්ට උදෑසනට, දහවලට හා රාත්‍රියට හිමි වන්නේ තෙලින් බැදි පිටි ගුලි අතර සිර කළ ප්‍රෝටීන ස්වල්පයක් හා අල්ප මාත්‍රාවෙන් වූ එළවලු පිරවුමකි. මෙම ආහාර සංස්කෘතියට හුරු වූ අපේම දරුවන් කොපමණ පිරිසක් අධික තරබාරුවෙන් පෙළෙන්නේ ද යන්න විමසා බැලිය යුතු ය. මෙම තරබාරුව හෙවත් ස්ථූලතාවය දියවැඩියාව, හෘද රෝග ආදී තත්වයන් සදහා අවදානම් සාධකයක් බව දෙමාපියන් දැනගත යුතු ය. සකස් කළ මස් ලෝකයේ ප්‍රබලතම පිළිකාකාරක බව අපේ මිනිසුන් දත යුතු ය. අවුරුද්ද දෙක වන විටම පොඩි උන්ට සොසේජස් කරල් ගිල්ලවා මුහුණු පොතේ පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ‘ප්‍රේ‘ කිරීමෙන් ඵලක් නැති බවට මේ සමාජය දැනුවත් විය යුතු ය.
අද වන විට ලෝකය ආපස්සට හැරී යන්නට තීරණය කර ඇත්තේ මෙම බෝ නොවන රෝග රැල්ල නමැති මර උගුලෙන් ගැලවීමට ය. ඒ සදහා ඔවුන් යෝජනා කරනුයේ ‘ගල් යුගයේ ආහාර රටාව‘ නැතහොත් ‘පේලියෝලිතික ආහාර රටාව‘ යි. ලීන මාංශ, ගස්වලින් ලබා ගත් කොළ හා ගෙඩි මෙන්ම අල වර්ග ආහාරයට යොදා ගැනීමත් තෙල්, සීනි, ලුණු හා පිෂ්ඨය අධික ධාන්‍ය, ඇල්කොහොල් ආදිය අත් හැරීමත් එමගින් නිර්දේශිත ය. මෙම පේලියොලිතික ආහාර සංකල්පය නව මුහුණුවරකින් හෙට දිනයේදි අපේ සමාජය තුළට ද අන්තර්ග්‍රහණය කෙරෙනු ඇත. එවිට අමුතුම ‘ගතියකින්‘ අපට වැළද ගත ද හැකි වනු ඇත. නමුත් එය මීට අවුරුදු 30ට 40කට පෙර අපේ ගැමි ගෙය තුළ තිබුණු ආහාර සංස්කෘතියම බව කිසිවෙකුත් අපට නොකියනු ඇත. මන් ද ඒ තරමටම පරගැති මානසිකත්වයකින් අපි තවමත් පෙළෙන බැවිනි.
එදා අපේ ආහාර වේලට ඇතුළත් වූ පළා වර්ග, අල වර්ග හා ධාන්‍ය වර්ග සොයා ආපසු හැරෙන්නට අද කාලය එළැඹ ඇත. ඒ බටහිර ලෝකය හෝ අනෙකෙක් ඒ ගැන සොයන නිසා නොව අපේ සමාජය තුළ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමටත් ජාතික ධනය රැක ගැනීමටත් අපට සටන් කළ යුතුව ඇති බැවිනි. ශ්‍රී ලංකාව තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වන්නේ හෘදය හා රුධිර නාලගත ආබාධවලිනි. සංඛ්‍යාලේඛනවලට අනුව එය 35.2% ක් වැනි ඉහළ අගයකි. දෙවැනි තැන දියවැඩියාව හා ඒ ආශ්‍රිත සංකූලතා යි. (2012 ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව) එවැනි රෝගීන් යාවත්කාලීන කිරීම සදහා දිනකට රුපියල් මිලියන බිලියන ගණනින් ජාතික ධනය ද වැය කරයි. නමුත් රෝගයට ප්‍රතිකාර කරමින් සිටියා විනා අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ එම රෝගයන්ට හේතුව නැතහොත් නිදානය පරිවර්ජනය කිරීමට සැලකිය යුතු මට්ටමෙන් මෙහෙයුම් දියත් කර නැත.
එබැවින් අප විසින් යළ මෙරට පැවති දේශීය ආහාර සංස්කෘතිය සමාජගත කළ යුතුව ඇත. ඒ අනුව දේශීය ආහාරවල ඇති ගුණාත්මක බව පිළිබදව සමාජය දැනුවත් කළ යුතුව ඇත. පැරණි හාලේ ගුණ යළි විමසිය යුතුව ඇත. ගහෙන් වැලෙන් නෙළා ගන්නා දෙයට ම සිත් බැදිය යුතුව ඇත. පිසින ලද අහාරයක් වස විස නොපොවා පැය 12ක් 18ක් තබා ගත නොහැක්කා සේම ටින් කළ- පැකට් කළ ආහාර ද මාස ගණන් සෝකේස්වල අසුරා තබා ගත නොහැකි බව තේරුම් ගත යුතුව ඇත.

වෛද්‍ය ජනක ජයලත්


විෂ ගල්

ඔයාලා දන්නවාද විෂ ගල් ගැන.මම නම් විෂ ගලක් කීවම හිතන් හිටියෙ මහා මැජික් එකක් විදිහට.සර්පයෙක් කෑවට පස්සෙ ඕනෙ වෙලාවක විෂ උරල අයින් කරන්න පුලුවන් නම් ඒක මැජික් එකක් නෙවේද?ඒත් මම හිතන් හිටපු විදිහේ පොඩි වරදක් තිබුනා.ඒ නිසා මම ඔයාලාට කියන්නම් මම හොයා ගත්ත කරුණු.

විෂ ගලක් යනු සර්ප විෂ වෙදකමේදී විෂ උරා ඉවත් කිරීම සදහා යොදා ගැනෙන්නක්.මුල් කාලයේ විෂ ගල් සදහා උරාගැනීමේ ශක්තියක් තිබෙන ගල් වර්ග,වලං කැබලි ආදිය යොදා ගෙන තිබෙනවා.එමෙන්ම විෂ සහිත ලේ උරා ඉවත් කිරීම සදහා රත්කල බෝතල්,හරක් අං ආදියත් යොදාගෙන තිබෙනවා.
විෂ ගලක් භාවිතයෙන් විෂ උරා ඉවත් කරන්නට නම් අවම සර්ප දෂ්ටනයෙන් පැය බාගයක් තුලවත් එය සිදුකල යුතුයි.ඊට වඩා පමා වුවහොත් නම් විෂ ඉවත් කරන්නට බැහැ.ඒ වගේම දෂ්ටකල සර්පයා,දෂ්ටකල ස්ථානය ආදිය මතත් මෙම කාලය තවත් අඩු වන්නට පුලුවන්.ඒ වගේම සර්ප දෂ්ටනය වන අවස්ථාවේ මත්පැන් පානය කර තිබීම,රුධිරයේ ද්රව ගතිය වැඩිකරන ඔසු ලබාගෙන තිබීම නිසාත් කාලය අඩු වන්නට පුලුවන්.එනම් සර්ප විෂ පැතිරීම ඉක්මන් වුවහොත් විෂ ගලෙන් කල හැකි කාර්යය සීමා සහිතයි.


විෂ ගලකින් විෂ ඉරීමේදී තුවාලය දෙහි හෝ දොඩම් කට්ටකින් මදක් පාරා විෂ ගල ඒ මත තැබීම සිදු කරයි.විෂ ඇත්නම් විෂ ගල තුවාලයට ඇලෙන අතර විෂ උරාගැනීමෙන් අනතුරුව ඉබේම ගැලවී වැටේ.එවිට විෂ ගලේ විෂ හරනය කල යුතුය.ඒ සදහා විෂ ගල පොල්කිරට දමයි.එවිට පොල් කිර රත් පැහැ වේ.මෙසේ පොල් කිර තුල පැය බාගයක් තබා පිරිසිදු ජලයෙන් සෝදා තද හිරු එළියේ වියලා ගනී.ඉන්පසු පහසුවෙන් ගතහැකි පිරිසිදු වියලි ස්ථානයක ගබඩා කර තබා නැවත භාවිතයට ගැනේ.


විවිධ විෂ ගල් වට්ටෝරු පවතී.ඇතැම් වට්ටෝරු වල පුෂ්පරාග,චන්ද්රකාන්ති වැනි පාෂාන වර්ගත් ඇතැම් ඒවායේ ගරුඩ ගලුත් යොදාගනී.තවද ඔසු රාශියක් අබරා තද ගුලියක් මෙන් සකසා පාෂාණයක් නොමැතිව යොදන අවස්ථාද දැක ඇත්තෙමි.
ඕනෑම සතකුගේ විෂ ඉරීම සදහා විෂ ගල් යෙදිය හැක.
නමුත් මතක තබා ගන්න කල්ගතවූ සර්පදෂ්ටයක විෂ උරා ඉවත් කිරීමට විෂ ගලකට නොහැකියි.



වෛද්‍ය කල්පනා ජයශ්‍රි





දේශීය අල වර්ග

අනාදිමත් කාලයක සිට මෙරට වැසියන් ඉහළ ආහාර සුරක්ෂිතතාවයකින් යුතු වූ බව අපි දනිමු. ඒ විසි කළ හැරමිටිය පවා මුල් අදින තරමට සුපෝෂිත වූ භූමියක් අප සතු වූ බැවිනි. ධාන්‍ය වර්ග, පළා වර්ග, ඵල වර්ග හා අල වර්ග මෙරට වැසියන්ගේ ආහාර අවශ්‍යතාවය පිරිමැසූ අතර ඒ අතරින් බහුතරයක් භෝග අද වන විට අප කෙරෙන් දුරස් වී හෝ දුරස් කරගෙන ඇත. යටත් විජිත සමයේ අපට උරුම කළා වූ මුහුදට දත නියවන ස්වභාවය අදටත් මෙකී දූපත් වැසියන් කෙරෙන පහව නොගිය බවට එය කදිම සාධකයකි. ඒ කෙසේ වෙතත් මෙහිදී මා ඔබේ අවධානය යොමු කරවන්නට උත්සාහ කරන්නේ අපට උරුමව තිබූ දේශීය අල භෝග සම්පත කෙරෙහි ය.
මෙරට පොළොවෙහි වැවෙන ආහාරයට ගත හැකි අල වර්ග 90කට අධික සංඛ්‍යාවක් පවතින අතර පොදුවේ මේවා වර්ග දෙකකි.
1. වැල් අල - වැල් වශයෙන් වැවී යන අල භෝග වර්ග යි. දන්දින, කටු අල, සීරුවල්ලි, ඇගිලි අල ආදී අල භෝග වර්ග මෙසේ වැල් වශයෙන් වැවේ.
2. ගස් අල - එනම් ගස් හෝ පදුරු වශයෙන් වැවෙන අල භෝග වර්ග ය. කිඩාරම්, බුත්සරණ, හුලංකීරිය, අලකොළ, හබරල, මඤ්ඤොක්කා ආදිය නිදසුන් ය.
උද්භිද විද්‍යාත්මකව ගත් කළ Dioscorea, Colocasia, Alocasia යන කුලයන්ට අයත් විශේෂ හා ප්‍රභේද ගණනාවක් මේ අතරට අයත් ය. පහත දැක්වෙනුයෙ එවැනි අල වර්ග කිහිපයක ලැයිස්තුව කි.
1. දන්දින - Dioscorea alata
2. අඩ දන්දින - Dioscorea alata
3. හීං ඇගිලි අල - Dioscorea alata
4. පැණි අල - Dioscorea alata
5. අතු අල - Dioscorea alata
6. කිරි අල - Dioscorea alata
7. රාජාල - Dioscorea alata
8. හිගුරල - Dioscorea alata
9. ඉණි අල - Dioscorea alata
10. ලේ දන්තාල - Dioscorea alata
11. රට අල - Dioscorea alata
12. රතු අල - Dioscorea alata
13. හීං හිගුරල - Dioscorea spp.
14. මහත ඇගිලි අල - Dioscorea spp.
15. ගොරොක් අල - Dioscorea spp.
16. කිරි කොඩොල් අල - Dioscorea spp.
17. සෙවෙල් අල - Dioscorea spp.
18. අඩ දන් දේසාල - Dioscorea spp.
19. රාජවල්ලි - Dioscorea spp.
20. ගෝනාල - Dioscorea spicata
21. දේසාල - Dioscorea spp.
22. පත්තර අල - Dioscorea spp.
23. ගොටු අල - Dioscorea spp.
24. රෝස දේසාල - Dioscorea spp.
25. කහ දේසාල - Dioscorea spp.
26. ගොම අල - Dioscorea spp.
27. සුදු රැවුලල - Dioscorea spp.
28. මවු අල - Dioscorea spp.
29. කහට අගල - Dioscorea spp.
30. නට්ටාල - Dioscorea spp.
31. ජාවාල - Dioscorea esculenta
32. කුකුලල - Dioscorea esculenta
33. සීරුවල්ලී/ සිරිවල්ලි - Dioscorea esculenta
34. උඩල - Dioscorea bulbifera
35. තඹලාල - Dioscorea rotundata
36. නොටුකෙවල්ලි - Dioscorea rotundata
37. කටු අල - Dioscorea pentaphylla
38. බුත්සරණ - Canna indica
39. රැල් බුරුල්ල - Alocasia spp.
40. කලු දේසාල - Colocasia spp.
41. ඉසුරු අල - Colocasia spp .
42. තුම්මස් අල - Colocasia spp .
43. බතල - Ipomoea batatas
44. මඤ්ඤොක්කා - Manihot esculenta
45. ඉන්නල - Plectranthus rotundifolius
46. කිඩාරං - Amorphophallus paeoniifolius
47. හුලංකීරිය - Maranta arundinacea
48. හබරල - Alocasia macrorrhizos
49. හිරිතල - Dioscorea oppositifolia
50. කොහිල - Lasia spinosa
51. කිරි අලකොළ
52. වෙල් අලකොළ
53. සෙවෙල් අල
54. රැල් බුරුල්ලා අල
එකම උද්භිද විද්‍යාත්මක නාමය යටතේ එන ශාකයන් සදහා දේශීයව විශාල පරාසයක් තුළ නම් භාවිතා වන අයුරු දැකිය හැකි විශේෂිත කරුණකි. මෙම දේශීය නම් ලබාදීමේදී සලකා බැලී ඇති සාධක ලෙස පෙනෙන්නේ අලවල විශාලත්වයේ වෙනස්කම්, වර්ණයන්හී අඩු වැඩි වීම්, අලයෙහි කණ්ඩිකා බෙදී ඇති ආකාරය, පත්‍රවල විශාලත්වය, පත්‍රවල වර්ණ වෙනස්කම් වැනි සියුම් කාරණා ය. මේ නිසා දේශීයව නම් කර ඇති අල වර්ග හදුනාගැනීමේ යම් දුෂ්කරතාවයක් ද ඇති බව පැහැදිලිව පෙනෙන කරුණකි.

For More Details : https://goo.gl/mPqNb4

වෛද්‍ය ජනක ජයලත්