Friday, December 15, 2017

දියවැඩියාව සහ අත් බෙහෙත්???

මුහුණු පොත වැනි සමාජජාල තුළ වගවීමකින් තොරව බෙහෙත් කියන සහ ඒ තරමටම බෙහෙත් සොයන රෝගයක් නිසාත් ජනප්‍රියම රෝගයක් ලෙස අද වන විට සමාජගත වී අැති නිසාත් දියවැඩියාව සදහා බෙහෙත් සෙවීමේදී හා බෙහෙත් කීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් දක්වන්නට සිත් විය. මෙහිදී පළමුව අප අවබෝධ කර ගත යුත්තේ දියවැඩියාව යනු කුමක්ද යන්නයි. දියවැඩියාව යනු රුධිරගත ග්ලූකෝස් මට්ටම (සීනි) ඉහළ යාමම යැයි සිතා කටයුතු කිරීම සාධාරණ නොවේ. එය දියවැඩියා තත්වයේදී අපට පෙනෙන්නට තිබෙන රූපාකාරය යි.
දියවැඩියාවෙහි අාකාර දෙකක් පවතී.

1. පළමු පෙළ දියවැඩියාව (Type 1 DM) - ශරීරය තුළ ශරීරයට අවශ්‍ය ඉන්සියුලින්, අග්න්‍යාශය තුළ නිපද නොවේ. මෙය ඒතරම් සුලබ තත්වයක් නොවන අතර දියවැඩියා රෝගීන් අතරෙන් 10‍%ක් පමණ මෙම තත්වයෙන් පෙළේ. ඔවුන්ට අනිවාර්යයෙන් ම ඉන්සියුලීන් එන්නත් කළ යුතුය.

2. දෙවන පෙළ දියවැඩියාව (Type 2 DM) - ශරීරය තුළ අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලීන් නිපදවීමක් සිදු නොවීම හෝ දේහ සෙෙල ඉන්සියුලීන් සදහා දක්වන ප්‍රතිචාරය අඩු වී ප්‍රතිරෝධය ඉහළ යාම හේතු වේ. මේ සදහා ඔෟෂධ ලබා දීම මගින් තත්වය පාලනය කර ගත හැකිය.

මේ අනුව ගැටළුව තිබෙන්නේ ඉනිසියුලීන්වල හෝ ඉන්සියුලීන් නිපදවන අග්න්‍යාශයේ හෝ දේහයේ සෙෙල ඉන්සියුලීන්වලට දක්වන ප්‍රතිචාරයෙහි බව ඔබට පැහැදිලි වනු අැත. මෙම ඉන්සියුලීන්වල ගැටලුව නිසා අැති වන ප්‍රතිඵලය නම් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමයි. එය දියවැඩියාවේ දර්ශකය යි.
කෙසේ නමුත් දියවැඩියාව සදහා ප්‍රතිකාර යෙදීමේදී රුධිරගත සීනි මට්ටම පාලනය කර ගැනීම අතිශය වැදගත් ය. ඒ සදහා බටහිර මෙන්ම දේශීය හා අායුර්වේදීය ප්‍රතිකාර ද පවතී. ඒ පිළිබද දැනුවත් අැතැම් විට අතෙලාස්සකි.


කෙසේ නමුත් තකහනියක් සීනි මට්ටම පහත හෙළීමම දියවැඩියාව සදහා ප්‍රතිකාරය නොවේ. මූලධර්මානුකූලව අග්න්‍යාශය තුළ ඉන්සියුලින් නිපදවීම උත්තේජනය කිරීම හා දේහ සෙෙලවල ප්‍රතිචාර ඉහළ නැංවීම කළ යුතු ය. එය වෙෙද්‍යක කරුණක් බැවින් පසෙකින් තබමු. 

දියවැඩියාව සදහා අාහාර පාලනයක් අවශ්‍ය ද? යන්න සලකා බැලීම ඊට වඩා ඔබට වැදගත් වනු අැත. සැබැවින්ම ඉහත කුමන අාකාරයේ දියවැඩියා තත්වයකින් පීඩා වින්දත් ඔහු හෝ අැය අනිවාර්යයෙන්ම අාහාර පිළිබද සැලකිලිමත් වීම අවශ්‍යය. මන්ද රුධිරයට සීනි සැපයෙන්නේ අප ගන්නා අාහාරයෙනි. දැනටමත් ලැබෙන සීනි ප්‍රමාණය යාමනය කර ගැනීමට ඔබේ සිරුර අපොහොසත් ය. එබැවින් සැපයුම සීමා කළ යුතුය. නොඑසේ නම් ඒ සීනි රුධිරය තුළ රැස් ව සංකූලතා අැති කරනු අැත. 
එසේම දියවැඩියාෙවන් පෙලෙන අයෙක් අනිවාර්යයෙන්ම සුදුසුකම් ලත් වෙෙද්‍යවරයෙකු යටතේ ප්‍රතිකාර ද ගත යුතුමය. ඒ ප්‍රතිකාර ගන්නා අතර තුර වෙෙද්‍යවරයා විටින් විට රුධිර සීනි මට්ටම ද පරීක්ෂා කර බලනු අැත. 

දියවැඩියාව සදහා භාවිත වන

‘අත් බෙහෙත්වලින්’ සිදු වන්නේ කුමක් ද යන්න පිළිබදව ද ඔබ දැනුවත්ව සිටිය යුතුය. 


කෝවක්කා, තෙබු, වල් කොත්තමල්ලි, කොතලහිඹුටු, රණවරා දියවැඩියාවට ප්‍රසිද්ධ ‘අත් බෙහෙත්’ය. (අත් බෙහෙතක් යනු කුමක්දැයි වෙනමම සාකච්ඡා කළ යුතුය.) මෙම ඔෟෂධ මගින් සිදු කරන්නේ රුධිරයේ සීනි මට්ටම පහත හෙළීම යි. ඔබ ලබා ගන්නා ඔෟෂධවලින් ද එම කාර්යය සිදු වේ. යමෙකුට දියවැඩියාව තිබෙන බව දැනගත් විගස දන්නා හදුනන අය විවිධ ඔෟෂධ වර්ග හදුන්වා දෙන අතර අැතැම් විට රෝගීන්මත් ඒ පිළිබද විමසනු අැත. වෙෙද්‍යවරයාගේ ඔෟෂධත් සමග ඒ ඔෟෂධ වග විභාගයකින් තොරව ලබා ගත් විට සිදු වන්නේ රෝගියාගේ සීනි මට්ටම සීග්‍ර ලෙස පහත බැසීමයි. එහි අවසන් ප්‍රතිඵලය
මරණය
ද විය හැකිය. මන්ද වඩා බරපතල වන්නේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට වඩා පහත බැසීම යි. ඒ නිසා රුධිර සීනි මට්ටම අඩු කරන අත් බෙහෙත් යැයි සම්මත ඔෟෂධ ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. ඒ ඔෟෂධ ද දිනපතා හෝ නිරන්තරයෙන් ගැනීම සුබදායක නොවනු අැත. 

තුන්වේලම කෝවක්කා කොල සම්බෝලය හෝ සතියේ දින පහට කෝවක්කා, තෙබු, අාදී වශයෙන් හෝ ගැනීම යෝග්‍ය නොවන
අතර ඒවා අාහාර ලෙස හෝ පාන ලෙස එක් කර ගත යුත්තේ කෙසේ ද යන්න ඔබේ වෙෙද්‍යවරයාගෙන්, වෙද මහතාගෙන් හෝ අඩුම තරමින් ෙරා්ගයත් බෙහෙතත් දෙකම ගැන හොදින් දන්නා කෙනෙකුගෙන්වත් විමසා ගැනීම වැදගත් ය. මන්ද කුරුදු තේ කෝප්පයකින් හෝ කරවිල කරලකින් ඔබේ සීනි මට්ටමට අැති කරන බලපෑම මෙන් කිහිප ගුණයක් වැඩිපුර ඉහත දැක්වූ ඔෟෂධ මගින් බලපෑම් කළ හැකි බැවිණි. එබැවින් එවැනි ඔෟෂධ සතියකට දින 1ක් 2ක් ඉක්මවා නොගන්නේ නම් වඩාත් මැනවි. ඒ කෙසේ වෙතත් නිරන්තරයෙන් ඔබේ සීනි මට්ටම ගැන ද අවදානය යොමු කළ යුතුම ය. දියවැඩියාවෙන් පෙලෙන අයෙක් අනිවාර්යයෙන්ම සීනි මට්ටම හදිසියේ අඩු උවහොත් ඒ සදහා ක්‍රියාත්මක වීමට ද දැනුවත්ව සිටිය යුතු ය. අැස් බොදවී යාමක්, අසාමාන්‍ය ලෙස දහදිය දැමීමක්, නිතර නිදිමත ගතියක්, වෙව්ලීමක් වැනි ලක්ෂණ සීනි මට්ටම පහත බැසීම ගැන ඉගි කරයි. එවිට ග්ලූකෝස් වැනි සරල සීනි වර්ගයකින් මේස හැන්දක්, සීනි හෝ පැණි මේස හැන්දක්, සීනි යෙදූ පළතුරු බීම කොප්ප 1/2ක් වැනි සීනි සහිත අාහාරයක් ලබා ගත යුතු අතර විනාඩි 15කින් සීනි මට්ටම පරික්ෂා කර ගත යුතුය. මෙවැනි අවස්ථාවක ප්‍රෝටීන හා මේද මිශ්‍ර කළ සීනි වර්ග එනම් චොකලට්, අයිස් ක්‍රීම් වැනි අාහාර යොදා නොගත යුතු ය. මන්ද ඒ අාහාර තුළ පවතින සීනි රුධිරයට එක් වන්නේ ඉතා සෙමිනි. දියවැඩියාවෙන් පෙළෙන අයෙක් නිතරම ටොෆියක්වත් සාක්කුවේ දමා ගෙන සිටිය යුතු යැයි සාමාන්‍ය ව්‍යවහාරයක් පවතින්නේත් මේ කරුණ නිසාම ය.

එය එසේ නමුත් කිසිම විටෙක පත්තරයක හෝ ෆේස්බුක් පිටුවක දකින බෙහෙත් වට්ටෝරු නම් භාවිත කිරීමට ගොස් අමාරුවේ නොවැටෙන මෙන් දැනුම් දීමටද කැමැත්තෙමි. විවිධ තැන්වල ඒ බදු කසාය වට්ටෝරු පවා හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. එය Share කිරීම මාහැගි පිනක් ලෙස දක්වා තිබුණත් ඒ තුළ ජීවිතයකට හානියක් ද සිදු විය හැකිය. අැතැම් විට සත්භාවයෙන් තමන් වෙත ලැබුණු බෙහෙත් වට්ටෝරුවක් අන් අය සමග බෙදා ගැනීමට සිතුවත් අවිචාරවත්ව ඒවා භාවිත කිරීම තුළ ගැටළු උද්ගත විය හැක. දියවැඩියාවෙන් පෙළෙන අය තම සීනි මට්ටම ඉහළ යාම ගැන මෙන්ම ඊටත් වඩා එහි පහළ යාම ගැන ද අවදානයෙන් සිටිය යුතු බව මතක තබා ගන්න. දියවැඩියාවට වෙෙද්‍ය නිර්දේශයකින් තොරව ඔෟෂධ භාවිත නොකරන්න.




වෙෙද්‍ය ජනක ජයලත්










No comments:

Post a Comment