Friday, December 15, 2017

සන්නිරෝග - ( Part 1)

අද මම බලාපොරොත්තු වෙන්නේ සන්නි රෝග කියලා හෙල වෙදකමේ කියවෙන රෝග කාණ්ඩයක් ගැන කියන්න.
සමහරු විහිළුවට අහනවනේ උබට වෙප්පුවද නැත්නම් සන්නියද කියල?
න්නි රෝග කියල රෝග ජාතියක් ගැන අපේ පුරාණ වෙදපොත් ගණනාවක ලියැවිලා තියනව ඔය "වටිකා ප්‍රකරනය","යෝගරත්නාකරය" වගේ තව ගොඩක් තියනව.අපේ ගුලි කල්ක පොතනෙ වටිකාප්‍රකරනය, ඒකෙ නම් විවිධ සන්නිවල ලක්ෂණ නිමිති ආදිය ගැන ගොඩක් විස්තර තියනව ඒවිතරක් නෙමේ බෙහෙතුත් කියල තියනව.එතකොට සමහරවිට ඔබ දැකලත් ඇති ඔය පහතරට පැත්තේ "සන්නියකුම" නැත්නම් "සන්නිසමයම","දහඅට සන්නිය " කියල ශාන්තිකර්මයක් කෙරෙනවනේ.ඒකෙත් කවියෙන්,රංගනයයෙන්,වෙස්මුහුණු වලින්( ආහාර්ය අභිනයෙන්)හා තිත් රෑප වලින් සන්නි කියල රෝග ජාතියක් ගැන කියවෙනව.අදකාලේ ශාන්තිකර්ම කව්ද ගණන්ගන්නේ නේද? ඒත් හෙල වෙදකමේදී ශාන්තිකර්ම ,තොවිල් පවිල් කියන එව්වා හරි වැදගත්.ගොඩක් අය මේවගැන බැලුවේ සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකින් විතරයි.ඒත් ඊටත් උඩින් මේ ගැන බලන්න කාලේ හරි.
සාමාන්‍යයෙන් බැලුවම නම් හරිම විහිළු සහගත රංගනයන් තමයි මේකේ තියන්නේ නමුත් ගැඹුරින් බැලුවම පේනව මේ කියන්නේ හෙල වෙදකමේ කියවෙන සන්නි රෝග ගැනමතමයි මේ කියන්⁣නෙත් කියල.
ඒ ශාන්තිකර්මය ⁣කරන්නෙත් රාජමුළු සන්නි යක්ෂයා ඇතුළු සන්නි යකුන් දහඅට දෙනෙකුගෙන් කෙරෙන ලෙඩරෝග දුරැකරගන්න.
එතකොට දැන්මේ සන්නි කියල රෝග ජාතියක් තියනවද? කෝ කාටවත් හැදෙනව අපි දැකල නෑනේ කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්.
මම ඒගැන තමයි අද කියන්න යන්නේ මේ සන්නි විවිධ පොත්වල,පුස්කොළ පොත්වල,මාතර,බෙන්තර,රයිගම ආදී විවිධ නර්තන සම්ප්‍රදායන්වල විවිධ නම්වලින් තිබුනට ⁣මොකද මෙහෙම රෝග ඡාතියක් අදටත් තියනව විතරක් නෙමේ ඔබට ඒව හැදෙන්නත් පුලුවන් .ඒවිතරකුත් නෙමේ ඔය ආයුර්වේද රෝහල්වල එහෙම වෛද්‍යවරු ඒවට ප්‍රතිකාරත් කරනව ....පුදුමයි නේද? මම අද ඒවගේ එක රෝගයක් ගැන කියන්නයි යන්නේ.බලන්නකෝ මේ කවිය මේක තියන්නේ දහඅට සන්නි පාලිය කියල පරන පුස්කොළ පොතක,උඩු කැත උඩුකැන්දේ ගෙදර රංකිරා කියල කෙනෙක්ටයි අයිති.
එක්අත එක්පය ඇගිලි වකුටු වෙති
එක් නෙත් ඇඳිරිව එකන් බිහිරි වෙති
ඵක් අත්සේ ගත වලංගු නැති වෙති
ඒකපාත සන්නිය පුද ඉල් ලති
එක්අත එක්පය ගමනෙනි එන් නේ
..................
මොකද්දො ලෙඩක ලක්ෂණ මතක්වෙනව වගේ නේද? ඔය කියන්නේ මේකනේ
*ශරීරයේ එකපැත්තක අත් පය කොර වෙනවලු ඒ කියන්නේ ක්‍රියා හානි වෙනවලු
*එකනෙතක් ඇදිරිවෙලා ඒපැත්තේ කන බිහිරි වෙනවලු
*එකඅතකින් එක පයකින්ලු ගමන ඒ කියන්නේ අනික් පැත්ත පනනෑ කියන එකනේ
දැන්ම් මතක්වෙනව නේද සීයට හැදුන ලෙඩේ.......කමක්නෑ අපි තවබලමුකෝ මේක තියන්නේ මහයක් කවි පොතේ නිවිතිගල ගණිතාචාර්ය ලියපු පොතක්
කොරවී අතපයරැදාවකර මින
දිරවා ඇඟපත සවිනැති කර වන
සන්දි සියලු තැන් තැන්වල කොර වෙන
කොරසන්නිය යකු පුද ඉල්ලා එන
දැන්නම් පැහැදිලි නේද?....
කොරසන්නියේ රංගන භාවනිරෑපනය ඕනැ ඊලග ටික තේරැම් ගන්න.
යකැදුරා සමග දෙබසක් කියාගෙන "සන්නිවීදියට"සන්නිය එන්නේ හැරමිටියකට වාරැවෙලා,
අතක් කොරයි ඒක වැලමිට ලගින් නමාගෙන පපුවේ තියාගෙන ඉන්නේ,
මැනික්කටුව ලගිනුත් අත නැමිල ඇගිලි විකෘති වෙලා.
ඒ පැත්තෙම කකුලේ දනහිස නමන්න බෑ කොන්දෙන් උස්සලා අමාරුවෙන් ඇවිදින්නේ,
කතාවත් ගොතයි.
පොඩ්ඩක් සිහිමද ගතියකුත් පේන්න තියනවා.
දැන් බලන්කෝ කොරසන්නියේ වෙස් මූන....
මුනෙත් පැත්තක් කොරවෙලා , එක ඇහැකුත් වැහිල ඇඳිරි වෙලා,කටත් පැත්තකට ඇදිල ගිහිල්ල.සමහර වෙස්මුහුණු වල එක කණක් කුඩයි.ඇයි ඒ? කන් නෑසෙන බව නිරෑපනය කරන්න නේ.
තව සමහර කොර සන්නි මූනුවල මූනේ එකපැත්තක් වහගෙන ඉන්නේ මහා නාගයෙක්.ඒ මොකටද? මූනේ එකපැත්තක ක්‍රියා හානි වෙලා බව නිරෑපනය කරන්න.
වෙස්මුහුණු වල වර්ණගැන්වීමත් වැදගත් බොහොමයක් කොරසන්නි මුහුණු කලු පැහැයෙන් පාටකරල තියන්නේ "වාත දෝෂය "නිරෑපනයට කියලයි මම හිතන්නෙ.
ඩාවින්චිගේ චිත්‍රවල විතරක් නෙමේ කේත හංගල තියන්නේ.අපේ පැරැණ්නොත් කේත හංගන්න රැසියෝ
බෙර පදයේ "තිත් රෑපය" හා කවිය කියවෙන තාලය පවා රෝගය ගැන ඉඟි සපයනවා කොරසන්නියේ කවි කියැවෙන්නේ "මහ තනි තිතට" සන්නිය ඇවිදින්නෙත් ඒතාලෙට.ඒ මොකද්ද ඒ තාලේ? දන්න කෙනෙක්ගෙන් අහගන්නකො.මම විශ්වවිද්‍යාලයට එන්න කලින් උඩරට ,පහතරට,සබරගමු නැටුම් එහෙම ඉගෙන ගත්තා ඉතින් ඒ නිසා මට මේව තේරැම් ගන්න පොඩි පහසුවක් සැලසුනා........
ඔයාල දන්නව ඇතිනේ එක එක රෝගවලදි රෝගීන් අවිදින රටා තියනවනේ ඒවගේම රිද්මයන් තියනව.රිද්මයන් තියන්නේ සිංදුවලට විතරක් නෙවේ හොදේ..ඉංගිලිසියෙන් gait කියන්නේ ....ආන්න ඒකතමා මම කියන්නේ.ඒත් එච්චර ඕනේ නෑ දැන් පැහැදිලි අපි අර "අංශභාගය" කියන රෝගේ ලක්ෂණ වලට සමාන ලක්ෂණ නේද මේ කියන්නේ?
ආයුර්වේදයේ පක්ෂාඝාතය ,පක්ෂවදය,ඒකාංග රෝගය, කියලත් කියනවනේ.දැන් අපි බලමුකෝ ආයුර්වේද පොත් පත්වල මොකද කියන්නේ කියල
ගෘහිත්වාර්ධං තනෝර් වායුඃ..........
කියල පටන් ගන්න සංස්කෘත භාෂාවෙන් කියවෙන ලොකු සොලෝකයක් තියනවා ඒකෙ මෙහෙම කියනවා,
........කෘත්ස්නෝර්ධකායස් තස්‍ය ස්‍යාදකර්මණ්‍යො විචේතනඃ
ඒකාංගරෝගං තං කේචිදන්‍යෙ පක්ෂවදං විදුඃ.........
ඔය කියන්නේ මෙකයි කුපිත වාතය සිරැරෙන් අර්ධයක් ආක්‍රමණය කරල එහි සිරා හා ස්නායු විශේෂයෙන් වියලවල එසේම සන්ධි බන්ධන ලිහිල් කරල එම අර්ධ අකර්මණ්‍ය කරනවා ඒවගේම චේතනා නැතිකරනවා මෙය පක්ෂවදය හෙවත් ඒකාංග රෝගයයි.
ලැහැදිලියි නේද? උඩින් කියපු සන්නි වල රෝගලක්ෂණත් මේවමනේ...
හෙල වෙදපොත් වලනම් කොරසන්නිය කියන නමක් නෑ ඒ්ත් "කිරම"සන්නිය කියන රෝගයේ ලක්ෂණ වලට කොරසන්නිය හා ඒකපාත සන්නිය හරිම සමීපයි.කව්ද ඉතින් එහෙම කිව්වම දන්නේ නේද?
දැන් අපි බලමුකෝ ඉංග්‍රීසි දොස්තරමහත්තුරු මොකද කියන්නේ කියල.....
එයාල කියන hemiparesis නැත්නම් hemiplegia කියන රෝගයේ ලක්ෂණ වලට ලක්ෂණානුකූලව සංසන්දනය කරොත් නම් සමානයි.ඔයකියන රෝගය ගැන Taber's cyclopedic medical dictionary එකේ මෙහෙම කියනවා.
paralysis of one side of the body,usually resalting from damage to the corticospinal tracts of the central nervous system.ශරීරයේ එක්පැත්තක් පණනැති වීමක්ගැනමයි මේ කියන්නෙත්.
කෙ⁣ාහොම උනත් අපි රෝග සංසන්දනය කරන්නේ ලක්ෂණානුකූලව විතරයි ඒ මොකද රෝග ඇතිවීමට බලපාන හා රෝග ඇතිවන ආකාරය පදනම් කරගෙන වෛද්‍ය ක්‍රම දෙකක රෝග සංසන්දනය කරන්න බෑ.රෝගය ඇතිවන යාන්ත්‍රණය වෛද්‍ය ක්‍රම දෙකක් අතුර වෙනස් උනාට රෝගියා බාහිරට පෙන්නන ලක්ෂණ වෙනස් වෙන්නේ නෑනේ අන්න ඒකයි කාරනේ....
කව්ද එතකොට මේ විස්තර හොයන්නේ?
විස්තර හොයන්නේ ආයුර්වේදය සම්බන්ධ විශ්වවිද්‍යාල වල උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂක ශිෂ්‍යයෝ මමත් එහෙම කෙනෙක් නොවැ ඉතින්
මොකටද?
ඇයි අපි අපේ දේශීය හෙලවෙදකම වැලලෙන්න නොදී ගොඩගන්න එපෑ.
ඉතින් ඔයාල ආයුර්වේද නේ ....හෙලවෙදකම කියන්නේ ඒක නෙමේ නේ?
කව්ද කියන්නේ අපිත් ආයුර්වේදය,දේශීය චිකිත්සාව හා හෙලවෙදකම සෛද්ධාන්තික බටහිර වෛදවිද්‍යාව කියන හැමදේම ඉගෙන ගන්නවනේ අපිත් මේ ලංකාවෙ ඉපදුණු පාරම්පරික වෙදපරම්පරාවලින් පැවතෙන උදවිය තමා.මොකෝ අපි ඉන්දියාවෙන් මෙහෙට බැස්ස යැ?
දැන් එතකොට මේවට ප්‍රතිකාර ගන්නේ කොහෙන්ද?
ඇයි ආයුර්වේද රෝහල්වල කෙරෙනව කියල මම මුලිනුත් කිවවේ
බොරැ........ඔය සන්නිරෝගවලට පවා ?
ඔව් යන්නකෝ ගම්පහ ආයුර්වේදයට නැත්නම් බොරැල්ල ආයුර්වේදයට එහෙමත් නැත්නම් වෙන ආයුර්වේද රෝහලකට පක්ෂාඝාතයට කරන්නේ සන්නිරෝග චිකිත්සාව තමා.මොකද අපි හෙල වෙදකමත් දන්නවනොවැ.
තවත් සන්නියක් ගැන ලිපියකින් නැවත හමුවෙමු.
ආයු බෝවේවා....................

"ශ්‍රීලාංකීය දේශීය චිකිත්සාවේ සදහන් සන්නිරෝග හා පහතරට බෙන්තර සම්ප්‍රදායට අයත් සන්නියකුම ශාන්තිකර්මයේ සදහන් සන්නිරෝග පිලිබඳ සංසන්දනාත්මක හා විමර්ශනාත්මක අධ්‍යනයක්"
යන මැයෙන් BAMS උපාධි පාඨමාලාව සදහා මාවිසින් ඉදිරිපත් කොට පලකෙරැන පර්⁣යේෂන නිබන්ධනය ඇසුරිනි.
චායාරෑප :- අන්තර් ජාලයෙන්
.
වෛද්‍ය මාධව සිව්රංග සුමනවීර

No comments:

Post a Comment