Wednesday, December 13, 2017

අධි තාක්ෂණීක යුගයේ සිට යළි කැලෑ වැදීම නොහොත් ආහාර සංස්කෘතිය තුළ දේශීය සලකුණ තහවුරු කිරීම

අළුත උපන් බිළිදාගේ පටන් මහල්ලා දක්වාම අද සමාජය තුළ පවතින්නේ සෞඛ්‍යය කෙතරම් දියුණු වුවත් රෝග පීඩිත ජීවිතයන් ය. සෞඛ්‍ය සංඛ්‍යා ලේඛණවල සාඵල්‍යතාවයත් නූතන තාක්ෂණික වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමණයත් අපි මූලිකව මිණුම් කරන්නේ රෝහලට ප්‍රතිකාර සදහා යොමු වූ සාංඛ්‍යාවට සාපේක්ෂව ඉන් සුවය ලබා ගිය අයවලුන්ගේ මිණිත අගයන්ගෙන් විනා සමස්ථ ජන සමාජයට සාපේක්ෂව රෝගාතුර නොවී සෞඛ්‍යවත්ව ජීවත් වන අයවලුන්ගේ ප්‍රමාණිතයන් මගින් නොවේ. සැබැවින් ම අප අවදානය යොමු කළ යුත්තේ ඒ වෙත ය. එනම් ආතුර පරායනය හෙවත් රෝග රෝගී ප්‍රතිකාර පද්ධතීන් තුළින් සෞඛ්‍යයේ ගුණාත්මක බව තීරණය කිරීමට වඩා ස්වස්ථ්‍ය සංරක්ෂණය හෙවත් රෝගාතුර නොවී නිරෝගී බව පවත්වා ගැනීම තුළ එකී අගය සොයා ගැනීම පිණිස ය.
සංඛ්‍යාලේඛණවලට අනුව අද වන ලෝකයේ මිනිසුන්ගේ සෞඛ්‍යය කෙරෙහි සැලකිය යුතු මට්ටමින් බලපෑම් කරනුයේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, රුධිර නාලගත ආබාධ ආදී වූ බෝ නොවන රෝග ‘රැල්ල‘ යි. සැබැවින්ම එය අප විසින් ම අපේ ඇග මත පටවා ගත්තා වූ තත්වයක් විනා අනෙකෙකුගේ දායාදයක් නොව බව සිහි තබා ගත යුතු ය. ලෝක ජනගහනයෙන් වැඩි මනත් සංඛ්‍යාවක් මරු තුරුලට යවන්නට තරම් සැහැසි වූ මේ බෝ නොවන රෝග රැල්ලට ප්‍රධාන හේතූන් වන්නේ මිනිසාගේ ආහාර හා චර්යාවන්ගේ පවත්නා විෂමතාවන් ය. එය ආයුර්වේදයේ මීට වසර දහස් ගණනකට පෙර සිට ම සදහන් කර තිබුණේ ‘මිථ්‍යා ආහාර හා විහරණ‘ (වැරදි ආහාර හා චර්යා රටාව) ලෙසයි.
නූතන තාක්ෂණික ලෝකය ද අද වන විට මේ බව මැනවින් හදුනාගෙන තිබෙන අතර ඒ නිසා ම ආපසු හැරී ගල් යුගයට යාමට බටහිර ලෝකය තීරණය කර ඇත. අද ලෝකය තුළ ආහාර සංස්කෘතියේ වෙනසක් ඇති කරමින් ‘ගල් යුගයේ ආහාර රටාවකට‘ ( Paleolithic diet) හැඩ ගැසෙමින් පවතියි. මීට හේතුව අද සමාජය මුහුණ පා සිටින මෙම බෝ නොවන රෝග සදහා මූලිකවම බලපානු ලබන නව්‍ය ආහාර රටාව වර්ජනය කිරීමෙන් තොරව ඊට මුහුණ දිය නොහැකි බැවිනි.
තාක්ෂණික ශිල්ප ක්‍රම ඔස්සේ යමින් අපි අපගේ ආහාරය, ආහාරයට එහා ගිය විලාසිතාවක් බවට පත් කර ගත්තෙමු. ස්වභාවිකත්වයෙන් ඈත් වී කෘත්‍රීම ආහාර සංස්කෘතියක් කර පින්නා ගතිමු. ආහාරයේ ගුණාත්මක අගය (quality) ට වඩා එහි ප්‍රමාණාත්මක (quantity) බවට මුල්තැන දුන්නේ බඩ පුරවා ගන්නට මිසක ආහාරයෙන් ශරීරයට අත් විය යුතු ප්‍රතිලාභ පසෙකට විසි කරමිනි. අපේ සමාජයේ බොහෝ දෙනෙකුගේ දෛනික ආහාර වේල දෙස බැලූ විට පෙනී යන්නේ ශරීරයට ලබා දිය යුතු ඇතැම් පෝෂක පදාර්ථවල දෛනික අගයන් ගත් විට එකී පුමාණයන් අතිමහත් ලෙස ඉක්මවමින් පවතින අතර ඇතැම් පෝෂක පදාර්ථයන් ඉතා ඌන මට්ටමේ පවතින බවයි. උදාහරණයක් ලෙස ගත් විට වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ මානව ඒකෛකයෙක් හෙවත් තනි පුද්ගලයෙක් ගත් කල ඔහුගේ දෛනික ආහාරයන්ගේ පෝෂක පදාර්ථ විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ සීමාව ඉක්මවා ගිය කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයක් පවතින බව හා අත්‍යාවශ්‍ය විටමින හා ඇතැම් විට ප්‍රෝටීන අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතා පහළ අගයක පැවතීම යි. දෙවන ආහාර වේල මෙහි කණපිට ගැසූවක් විය හැක.
අද කාර්යබහුල ජීවිත ගත කරන මිනිසුන් බොහෝවිට හුරුවී ඇත්තේ ක්ෂණික ආහාර හා සකස් කළ ආහාර රටාවකට ය. පාසල් යන දරුවන්ට උදෑසනට, දහවලට හා රාත්‍රියට හිමි වන්නේ තෙලින් බැදි පිටි ගුලි අතර සිර කළ ප්‍රෝටීන ස්වල්පයක් හා අල්ප මාත්‍රාවෙන් වූ එළවලු පිරවුමකි. මෙම ආහාර සංස්කෘතියට හුරු වූ අපේම දරුවන් කොපමණ පිරිසක් අධික තරබාරුවෙන් පෙළෙන්නේ ද යන්න විමසා බැලිය යුතු ය. මෙම තරබාරුව හෙවත් ස්ථූලතාවය දියවැඩියාව, හෘද රෝග ආදී තත්වයන් සදහා අවදානම් සාධකයක් බව දෙමාපියන් දැනගත යුතු ය. සකස් කළ මස් ලෝකයේ ප්‍රබලතම පිළිකාකාරක බව අපේ මිනිසුන් දත යුතු ය. අවුරුද්ද දෙක වන විටම පොඩි උන්ට සොසේජස් කරල් ගිල්ලවා මුහුණු පොතේ පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ‘ප්‍රේ‘ කිරීමෙන් ඵලක් නැති බවට මේ සමාජය දැනුවත් විය යුතු ය.
අද වන විට ලෝකය ආපස්සට හැරී යන්නට තීරණය කර ඇත්තේ මෙම බෝ නොවන රෝග රැල්ල නමැති මර උගුලෙන් ගැලවීමට ය. ඒ සදහා ඔවුන් යෝජනා කරනුයේ ‘ගල් යුගයේ ආහාර රටාව‘ නැතහොත් ‘පේලියෝලිතික ආහාර රටාව‘ යි. ලීන මාංශ, ගස්වලින් ලබා ගත් කොළ හා ගෙඩි මෙන්ම අල වර්ග ආහාරයට යොදා ගැනීමත් තෙල්, සීනි, ලුණු හා පිෂ්ඨය අධික ධාන්‍ය, ඇල්කොහොල් ආදිය අත් හැරීමත් එමගින් නිර්දේශිත ය. මෙම පේලියොලිතික ආහාර සංකල්පය නව මුහුණුවරකින් හෙට දිනයේදි අපේ සමාජය තුළට ද අන්තර්ග්‍රහණය කෙරෙනු ඇත. එවිට අමුතුම ‘ගතියකින්‘ අපට වැළද ගත ද හැකි වනු ඇත. නමුත් එය මීට අවුරුදු 30ට 40කට පෙර අපේ ගැමි ගෙය තුළ තිබුණු ආහාර සංස්කෘතියම බව කිසිවෙකුත් අපට නොකියනු ඇත. මන් ද ඒ තරමටම පරගැති මානසිකත්වයකින් අපි තවමත් පෙළෙන බැවිනි.
එදා අපේ ආහාර වේලට ඇතුළත් වූ පළා වර්ග, අල වර්ග හා ධාන්‍ය වර්ග සොයා ආපසු හැරෙන්නට අද කාලය එළැඹ ඇත. ඒ බටහිර ලෝකය හෝ අනෙකෙක් ඒ ගැන සොයන නිසා නොව අපේ සමාජය තුළ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමටත් ජාතික ධනය රැක ගැනීමටත් අපට සටන් කළ යුතුව ඇති බැවිනි. ශ්‍රී ලංකාව තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වන්නේ හෘදය හා රුධිර නාලගත ආබාධවලිනි. සංඛ්‍යාලේඛනවලට අනුව එය 35.2% ක් වැනි ඉහළ අගයකි. දෙවැනි තැන දියවැඩියාව හා ඒ ආශ්‍රිත සංකූලතා යි. (2012 ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව) එවැනි රෝගීන් යාවත්කාලීන කිරීම සදහා දිනකට රුපියල් මිලියන බිලියන ගණනින් ජාතික ධනය ද වැය කරයි. නමුත් රෝගයට ප්‍රතිකාර කරමින් සිටියා විනා අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ එම රෝගයන්ට හේතුව නැතහොත් නිදානය පරිවර්ජනය කිරීමට සැලකිය යුතු මට්ටමෙන් මෙහෙයුම් දියත් කර නැත.
එබැවින් අප විසින් යළ මෙරට පැවති දේශීය ආහාර සංස්කෘතිය සමාජගත කළ යුතුව ඇත. ඒ අනුව දේශීය ආහාරවල ඇති ගුණාත්මක බව පිළිබදව සමාජය දැනුවත් කළ යුතුව ඇත. පැරණි හාලේ ගුණ යළි විමසිය යුතුව ඇත. ගහෙන් වැලෙන් නෙළා ගන්නා දෙයට ම සිත් බැදිය යුතුව ඇත. පිසින ලද අහාරයක් වස විස නොපොවා පැය 12ක් 18ක් තබා ගත නොහැක්කා සේම ටින් කළ- පැකට් කළ ආහාර ද මාස ගණන් සෝකේස්වල අසුරා තබා ගත නොහැකි බව තේරුම් ගත යුතුව ඇත.

වෛද්‍ය ජනක ජයලත්


No comments:

Post a Comment