Friday, December 15, 2017

සන්නිරෝග - (Part-3)

අපි මීට කලින් සන්නි රෝග කීපයක් ගැන කතා කලා.අද අපි යන්නේ තවත් සන්නියක් ගැන කතාකරන්න.
මම මුලින් කිව්වද මන්ද ,මේ සන්නි කියන්නේ මතභේදාත්මක රෝග කාණ්ඩයක් නේ,සන්නි රෝග ගැන මෙතෙක් සම්පූර්ණ වශයෙන් කෙරැන ආයුර්වේදාත්මක හෝ බටහිර වෛද්‍යවිද්‍යාත්මක විවිරනයක් කොහෙවත්ම හම්බවෙන්නේ නෑ.
කොහොම උනත් සන්නි කියන්නේ සංකීර්ණ , තීව්‍ර රෝග අවස්තාන් කියන එකනම් හැමෝම වගේ පිලිගන්න දෙයක්.
කොහොම උනත් මේව විද්වත් මතවාද පමනයි.තෝරැ මෝරැ අස්සේ හාල්මැස්සො පීනනව වගේ මාත් මේ කරන්නේ ඒවගේ අදහස් කීපයක් ඔබට ඉදිරිපත් කිරීමක් විතරයි.
අද අපි කියන්න යන්නේ "වෙඩි සන්නිය "කියල හදුන්වන සන්නියක් ගැන.මේක ගැන නම් සන්නියකුම සම්බන්ධ ශාන්තිකර්ම සම්ප්‍රදායන් තුනේම සහ දේශීය වෙදකමෙත් මේනමින්ම හදුවල තියනව.අතීතයේ මේකට ගෙඩි සන්නිය කියලත් කිව්වයි කියලයි කියන්නේ .බලමුකෝ මේ සන්නියේ රෝගෙ ලක්ෂණ මොනවාද කියල,ශාන්තිකර්ම සාහිත්‍යයේ මෙවැනි කවියක් තියනවා
දෙකම්මුලෙ ගෙඩි බන්ධන කරමි න
කම්මුල තඩිස්සි කනයට කකිය න
කනයට ගෙඩි කර ශාරේ අද්ද න
වෙඩි සන්නිය යකු පුද ඉල්ලා එ න
දැඩිවී ඇඟ කනයට කකියන් නේ
පොඩිවී ඇගපත රැදා කරන් නේ
......
තව තැනක මෙහෙත් කියනවා,මේකත් සන්නි යකුමෙම එන කවියක්
කනයට ගෙඩි බැඳ ශරව ගලන් නේ
මූනේ ගිනිජල් නිබඳ කරන් නේ
දෑතට දෙපයට දහදිය එන් නේ
වෙඩි සන්නිය කල ලෙඩ දැන ගන් නේ
යෝගරත්නාකරය වෙද පොතේ මේ කවියම සුළු වෙනස්කම් සහිතව මෙහෙම තියනවා.
කනයට ගෙඩිකර සැරවයි එන් නේ
මූනේ ගිනිජල් නිබඳ කරන් නේ
දෑතේ දෙපයේ දහදිය එන් නේ
වෙඩි සන්නිය කල ලෙඩ දැන ගන් නේ
සන්නියකුමේ හා දේශීය චිකිත්සාවේ එන සන්නි එකිනෙකට වෙනස් සම්බන්ධයක් නැති දෙකක්ය,කියන ඇතැම් විද්වතුන්ටත් මේක අවධානය යොමුකල යුතු තැනක්...
මොනවද බලමු මේ කියන ලක්ෂණ
* කම්මුල් දෙකේ ගෙඩි හටගැනීම
* කම්මුල ඉදිමීම (තඩිස්සි කියන්නේ ඒක තමයි)
* කනයට වේදනාව
* මෙම ගෙඩි පුපුරා සැරව ගැලීම
* කනේ හා ඇග පතේ වේදනාව
* මුහුනේ දැවිල්ල
* අධික උන ඇතිවීම (ඔය අදික දහඩිය දානව කියන්නේ ඕක තමා.බොහෝ තැන්වල උන ගැන ව්‍යංගයෙන් කියන්නේ දහදිය දැමීම සම්බන්ධ කරල)
මේ සන්නියේ වෙස්මුහුණත් හරි වැදගත්....
වෙඩි සන්නි මුහුණු නිතරම වර්ණගැන්වීම කරල තියන්නේ ,තද රතු හෝ කුනු ලේ පාටින්,මම හිතන්නෙ ඒ "ප්‍රදාහාත්මක" බව නිරෑපනයට .සමහර මූනුවල දෙපැත්තේ ඉදිමුම පැහැදිලිව පෙන්නලා තියනවා.තව සමහරක් මූණු වල කම්මුල් ගෙඩිය පුපුරා සැරව ගලන හැටිත් තියනවා.සමහරක නම් කට පැත්තට ඇද උන ගතියකුත් පේන්න තියනවා.
රංගනයේ භාව නිරෑපනයෙන් පෙන්නන්නෙත් ඔය ලක්ෂණමයි.වෙඩි සන්නිය එන්නේ කෙසෙල් පිත්තකින් කපපු තුවක්කුවක් අරගෙන,ඉස්සර නම් ආවේ දුන්නක් අතින් අරන්ලු.යටත්විජිත සමයට පස්සේ තමා තුවක්කුවට මාරැවෙලා තියන්නේ .ඉතින් බලමුකෝ ඒකෙත් හැටි.....
මේකේ රංගනය ගැනත්
තව රසවත් විස්තරයක් කියන්න තියනවා.ටිකක් බලන් ඉන්නකෝ..
හොඳයි අපි ඊලගට බලමුකෝ මේවගේ ලක්ෂණ තියන රෝගයක් ගැන ආයුර්වේදයේ කියනවද කියල.
ආයුර්වේදයේ "කර්ණ මූලික ජ්වරය,සහ "කර්ණක සන්නිපාතය"කියල උණ රෝගයත් එක්ක වෙනත් ලක්ෂණත් එන රෝගයක් ගැන කියල තියනවා.මෙන්න මෙහෙම
"එකතඃ කර්ණ මූලේ ථානුපදඤ්චාන්‍යතඃ පුනඃ ශොථඃ සරැග් ජ්වරොයත්‍ර සඤෙයඃ කර්ණමූලිකඃ"
කර්ණ මූල ග්‍රන්ථි එකෙහි හෝ දෙකෙහිම ඉදිමුම හා සහිතව උනක් හටගනීද එය කර්ණමූලික ඡ්වරයයි. තව මෙහෙමත් තියනව
"ශ්‍රැතෙඃ අධඃ අතිබහුව්‍යථඃ යඃ ශ්වයථුඃ.......සඃ කර්ණකාඛ්‍යඃ"
දෙසවන් යට ඉතා බොහෝ පීඩා ඇති යම් ⁣ඉඳිමුමක් වේද ......කර්ණක නම් සන්නිපාතයයි.මේවගේ ලක්ෂණත් විස්තර කරල තියනවා.ඔය කෙටියෙන්....
හොදයි අපි ඊලගට බලමුකෝ බටහිර වෙදකමේ හැටියට මේවගේ රෝගලක්ෂණ එන්න පුලුවන් මොනවගේ ලෙඩවලදිද කියල....
මේ ලක්ෂණ දැක්කම මතක්වෙනව නේද පොඩි කාලේ හැදුන ලෙඩක් ගැන.අපි කම්මුල් ගාය කියන්නේ .ඒක බොවෙන ලෙඩක් නේ paramyxoviridae කියන පවුලට අයිති වයිරස් එකක් නිසා හැදෙන mumps parotitis කියන රෝගය .නමුත් ඉතින් ඒක ඔයතරම්ම අමාරුවෙන ලෙඩක් නෙමේ නේද? ,අපිටත් ඔය හැදිල හොඳ උනේ.
ඇත්තෙන්ම මේ වගේ කම්මුල් වල ගෙඩි හැදෙන ,කේඨ ග්‍රන්ථි හා කොපුල ආශ්‍රිත ගෙඩි(abscess ) හා පිලිකා ( Carcinoma ) වර්ගනම් ගොඩක් තියනවා.නමුත් අපි අමතක කරන්න හොද නෑ සන්නි රෝග කියන්නේ කල්ගතඋන(chronic ) රෝග නෙමේ තීව්‍ර(acute ) රෝග අවස්තා.අපි එහෙම කියන්නේ නිකම්ම නෙමේ සන්නි රෝග ගැන කියල තියන අපේ දේශීය පොත් පත් බලපුවම ඒක කව්රුත් පිලිගන්නව .
කොහොම උනත් අපි අර මුලින් කියපු කම්මුල් ගාය( mumps parotitis ) උනත් හැදිල ගොඩින් බේරැනොත් හොදයි හැබැයි වැඩේ දරැනු වෙන්න පුලුවන් අවස්තා නැතුව නෙමේ.
වැඩේ ගොඩින් බේරැනේ නැත්නම් ගොඩක් දරැනු උපද්‍රව ඇතිවෙන්න පුලුවන්.වෛරසය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ උනොත් මේකට බැක්ටීරියා ආසාධන ඇතිවෙන්න පුලුවන්.අපි දන්න කම්මුල් ගාය නිසා කම්මුලේ ගෙඩි පුපුරලා සැරව නොගැලුවට මේවගේ අවස්ථාවක නම් කම්මුලේ සැරව ගෙඩි ඇවිත් පුපුරන්න පුලුවන්( bacterial suppurative parotitis) ඒ විතරක් නෙමේ තව ගොඩක් උපද්‍රව එන්න පුලුවන්.
මම මුලින් කිව්වේ වෙඩි සන්නියේ රංගනය විශේෂයි කියල.බලමුකෝ ඇයි කියල
වෙඩි සන්නි යක්ෂයා එන්නේ තුවක්කුවක් අරන් කිව්වනේ,එයා යන්නේ දඩයමේ ,ඔය යන අතර තුර පොඩි පොඩි දෙබස් ඇතිවෙනවා ඒවගේ අපූරු කතා ටිකක් කියැවෙනවා.
කොච්චර හොඳට බෙහෙත් කොටල වෙඩි තිබ්බත් හරියට වෙඩිල්ල වදින්නේ නෑ....
හරියට වෙඩි තියාගන්න බෑ තුවක්කුව කැඩිල....
යන්නේ පුස් වෙඩි....
දැන් අව්රැදු ගානක ඉඳන් වෙඩි තියනවා,තාම සතෙක් එලා ගන්න බැරිඋනා ....
සන්නිය රංගනය ඉවර කරන්නේ තුවක්කුවෙන් දඩයම් කරන්න ගිහින් තුවක්කුවත් දෙකට කඩලා....
මේව හරි රසවත්,මේවගෙන් කියවෙන්නේ ලිංගිකත්වය පිලිබඳ ඉඟි සමූහයක්.
දැන් ඒක කොහොමද මේකට සම්බන්ධ ?
අදාල නෑ නේ......
සමහර ඊනියා ප්‍රබුද්ධයෝ හිතන්නෙ මෙව නිකන්ම නිකන් කුනුහරැප විහිළු කියල.නමුත් අපේ පැරැණ්නො කුනුහරැපයක් වත් නිකමට කිව්වේ නෑ.....
mumps වෛරසය ආසාධනය නිසා ඇතිවන උපද්‍රව තත්වයක් නිසා යුවලකට දරැවන් නැතිව යන්න පුලුවන්.මේ වෛරසයෙන් වෘෂණකෝෂ ආසාධන( Mumps orchitis) නිසා පුරැෂ වඳ භාවයත් ,ඩිම්බකෝශ ආසාධන උනොත් (mumps oophoritis ) ස්ත්‍රී වඳභාවයත් අතිවෙන නිසා ඕක නිකම්ම නිකං අසැබි විහිළුවක් කියල හිතන්න එපා.
කව්රැ කව්රුත් ඔය තොවිල් පවිල් වල තියන නාට්‍යමය අවස්තා බලල හිනා වෙනව ඇති නේ.ඒ කරල හිතනව ඇති බටහිර සම්භාව්‍ය නාට්‍යත් එක්ක බැලුවම මේව්ව මොනවාද අප්පා.. කියල.මොකද අපේ රටේ නාට්‍ය ආභාෂය ලැබුවේ මේවගෙන් නිසා....කමක් නෑ
හිනා වෙන ගමන් යටි අදහස ගැනත් ටිකක් හිතන්න කෝ.එතකොට හීනමානය දුරැ වෙයි...
තව දෙයක්...මේ වෛරසය ස්නායු පද්ධතියට බලපාන්නත් පුලුවන් ,එතකොට අපි අර කලින් කතා උන වක්ත්‍ර ස්නායු අකර්මණ්‍ය (facial nerve paralysis ) තත්වයක් ඇතිවෙන්න පුලුවන් .ඉතින් සමහර වෙඩි සන්නි මූනුවල කට ඇදඋන ස්වරූපයක් පෙන්නල තියන්නේ ඇයි කියලත් දැන් හිතාගන්න පුලුවන් නේ?.......
එතකොට ඔය වෛරසය නිසා තව ගොඩක් උපද්‍රව ඇතිවෙන්න පුලුවන් නේ ,ඒ ගැන ඉඟි නැත්ද?
අපෝ තියනවා.ඔය කිව්වෙ ප්‍රධානම ටිකක් විතරයි.ඔය ටික මදෑ....



"ශ්‍රීලාංකීය දේශීය චිකිත්සාවේ සදහන් සන්නිරෝග හා පහතරට බෙන්තර සම්ප්‍රදායට අයත් සන්නියකුම ශාන්තිකර්මයේ සදහන් සන්නිරෝග පිලිබඳ සංසන්දනාත්මක හා විමර්ශනාත්මක අධ්‍යනයක්"
යන මැයෙන් BAMS උපාධි පාඨමාලාව සදහා මාවිසින් ඉදිරිපත් කොට පලකෙරැන පර්⁣යේෂන නිබන්ධනය ඇසුරෙනි.
චායාරෑප :- අන්තර් ජාලයෙන්

පහුගිය ලිපි


සන්නිරෝග - ( Part 1)


වෛද්‍ය මාධව සිව්රංග සුමනවීර

No comments:

Post a Comment