Friday, December 15, 2017

සන්නිරෝග - ( Part - 2)

අපි පහුගිය ලිපියකින් සන්නි රෝග ගැන බොහො දේවල් කතා කලා විශේෂයෙන්ම අංශභාගය නමින් අපි හදුන්වන රෝගය ගැන සන්නි රෝග ඇසුරෙන් .
ඉතින් ඉවරද ? 
ඉවරනෑ තව දේවල් තියනවා, හිතන්න කතා කරන්න,
මම මුලිනුත් කිව්වනේ ,අපේ පැරනි ශාන්තිකර්ම බලි තොවිල් ⁣වගේ දේවල් වල අපි නූතනයේ මහ ඉහලින් කතාකරන සමහර දේවල් සැගවිලා තියනව කියල.
පැරැණ්නො තමන්ගේ ඇදහිලි, විශ්වාස ,සංස්කෘතිය වගේ දේවල් නිසා තමාට සෑදෙන ලෙඩ රෝග ආදිය දෙවියන්,යකුන් ,භූතයන් වගේ නොපෙනෙන සංකල්ප ඇසුරෙන් විග්‍රහ කරගත්ත.ඒ වගේම ඒවාටම කලාව ,සංගීතය ,වාදනය,චිත්‍ර ,ඇඹුම්,මූර්ති වගේ දේවලුත් එකතුකරගත් සංස්කෘතියක් ගොඩනැගුව.
ලෝකය කොටස්වල කඩා අධ්‍යනය කිරීම,දැනුම විශේෂඥ කරනය බටහිරයන්ට ආවේණික ලක්ෂණ නේ, නමුත් අපි එහෙම නෑ.අපේ මොනදෙයක් ගත්තත් ඒකේ හැම දේම තිබුන.ඉතින් අපේ ශාන්තිකර්ම කියන්නේ ඒවගේ දෙයක් තමා.චිත්‍ර ,මූර්ති ,කැටයම්,ගොක් කලාව,දෙවියන්,යකුන්,ප්‍රේතයන්,ආගම දහම,වෙදකම,ඉංජිනේරුවිද්‍යාව,ගණිතය වගේ හැමදෙයක්ම ඒව තුල අඩංගු වෙනවා.
ඉතින් අපි අද කතාකරන්න යන්නෙත් සන්නි රෝගවලට සම්බන්ධ දෙයක්ම තමා, කලින් ලිපියේම දිගුවක් කිව්වත් වැරදි නෑ.
අපි කලින් කතා කලේ කොර සන්නිය හා ඒකපාත සන්නිය ගැන නේ.නමුත් කොර සන්නිය,ඒක පාතසන්නිය හා වාත සන්නිය කියන සන්නි වල සන්නි වෙස්මුහුණ පමනක් සලකා බැලුවත් ඒකෙත් කියන්න තරම් විශෙෂත්ව ගොඩක් තියනවා.
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ඡාමෙට කියනවනේ.ඒ නිසා අපි ඒක මෙහෙම පටන් ගමු.
ඔයාල අහල ඇති එකපාරම ,එහෙම නැත්නම් උදෑසන අවදිවෙනවත් එක්කම එකපාරටම කට ඇදවෙලා ,අැස් පියන්න බැරිවෙන,කතාකරන්න බැරව,මුහුනේ පැත්තක් පණනැතුව යන රෝගයක් ගැන.
බටහිර වෛද්‍යවරුන් මේකට කියන්නේ facial paralysis (වක්ත්‍ර ස්නායු අකර්මණ්‍ය) කියලයි.
බටහිර විද්වතුන්ට අනුව මේකට ප්‍රධාන හේතු තමයි සරලව කිව්වොත් මොලයේ නහරවල ලේකැටි හිරවීම,ඒ වගේම අධික සීතලට නිරාවරණය වීම සමහර ආසාධන තත්ව,පහර වැදීම්,මොළයේ ඇතවන අර්බුද වගේ දේවල් නිසා මුහුණට ස්නායු සපයන හත්වන කපාල ස්නායුවේ( 7th cranial nerve ) ක්‍රියා හානි වීම.
මොළයේ හා ස්නා පද්ධතියේ අකර්මණ්‍යතා ඇතිවන තැන අනුව මේකේ ආකාර තුනක් තියනවා.
ඉනුත් එක් බහුල ආකාරයකට ඔවුන් කියනවා Bell's palsy (බෙල් ගේ අංශභාගය )කියල.
මේ රෝගය පිලිබඳ මුලින්ම නූතන ලෝකයට හෙලිකල ස්කොට්ලන්ත ජාතික චාර්ල්ස් බෙල් නම් ශල්‍ය වෛද්‍යවරයාට ගරැකරන්නනේ එහෙම නම දාල තියන්නේ.හරි අපි දැම් බලමුකෝ මේරෝගයේ ලක්ෂණ මොනවද කියල.කලින් කිව්ව වගේම
මුහුනේ පේශි අකර්මණ්‍ය වීම නිසා
*කට පැත්තකට ඇදිල යාම
*ඊට විරැද්ධ පැත්තේ ඇස වැසීමට නොහැකි වීම
*වචන උච්චාරණය අපහසු වීම
*නලලේ රැලි නැතිවයාම
*ඇස් පිය වැසීමට නොහැකි වීම නිසා ඇස් රතුවීම ,නිතර කදුළු ගැලීම මේක ඇස් අන්ද වීමට පවා හේතු වෙන්න පුලුවන් .
*ශබ්ධයට අධිසංවේදී බව හා ඇතැම්විට කනේ වෙදනාව
*සමහරුන්ටනම් දිවේ එක පැත්තක රස සංවේදනය අඩුවීම
හොදයි දැන් අපි බලමුකෝ ලක්ෂණානුකූලව මේවගේ රෝගයක් ගැන ආයුර්වේදයේත් කියැවෙනවද කියලා.
ඇයි නැත්තේ මෙහෙම රෝගයක් ගැන ක්‍රි.පූ 6වන සියවසේ තරම් ඈත දී සුශැත කියන ආචාර්ය වරයා ඉතා හොදින් විස්තර කරල තියනවා.නිකං නෙමේ රෝගයට හේතු,පූර්ව ලක්ෂණ ,සාධ්‍ය අසාධ්‍ය ලක්ෂණ එහෙමත් එක්කම...ඒකෙ ලක්ෂණ මෙන්න මෙහෙම කියනවා සංස්කෘත සොලෝකයකින්
වක්‍රීභවති වක්තාර්ධං ග්‍රීවං චාප්‍යවර්තතේ
ශිරශ්චලති වාක්සංගෝ නේත්‍රාදීනාං ච වෛකෘතං
ග්‍රීවා චිබුකදන්තානං තස්මිං පාර්ශවේ තු වේදනා
මොකද්ද මේ කියන්නේ?
මේකනේ....
* මුහුණේ අඩක් ඇදවෙයි
* ගෙල වක්‍ර වේ
* හිස සොලවයි (වේව්ලයි)
* කතාව නොහැකි වෙයි
*ඇස් වැසීම අපහසු වෙයි
* රෝගය ඇති පැත්තේ ගෙල,නිකට,දත්,වල වේදනාව ඇති වේ.
හරි ඇයි දැන් මේගැන මේච්චර විස්තර කියන්නේ?
විස්තර කියන්නේ මේකයි ,අපි සන්නි ගැනනේ කතාව.කොර සන්නි හා වාත සන්නි වෙස් මුහුණු හමුවෙනවා මේ ලක්ෂණ තියන.සමහරක්
සම්ප්‍රදායන් අනුව සුලුවෙන් වෙනස් උනත් සමස්තයක් ව්දිහට සමානයි.
මොනවද ඒ ලක්ෂණ ?
ඔය උඩ කියල තියන ගොඩක් රෝග ලක්ෂණ මේ වෙස් මුහුණේ තියනවා හොදට බලන්නකො නැත්ද කියලා.රොගියෙකුගේ හැබෑ මුහුණකුත් තියනවා සංසන්දනය කරල බලන්න.
ශබ්ධයට ඇති අධිසංවේදී බව පෙන්නන්නේ රෝගී පැත්තේ කන ලොකුවට තියන්නේ.
ඇහැ වටේ නයි පෙන හැඩයක්.ඒ ව්නාශය පෙන්නන්න.
මම කලිනුත් කිව්වනේ ඩාවින්චි විතරක් නෙමේ ,තමංගේ කලා කෘතිවල කේත හැංගුවේ කියල......
මොකටද ඉතින් ඒව වෙස්මුහුණු වලින් පෙන්නන්නේ නිකං යක්කු වගේ?
ආ...
ඒ අපේ සංස්කෘතියේ හැටි නේ.සන්නිත් එහෙමමයි. රෝගය යක්ෂයෙක් විදිහට හා රෝග ලක්ෂණ යක්ෂයාගේ රෑපාකාරය විදිහට .
එතකොට මේ රෝග ගැන මුළු ලෝකෙන්ම මුලින්ම දැනගෙන ඉන්න ඇත්තේ අපි වෙන්න ඇති නේද?
ආ...
නෑ එහෙම කියන්න බෑ.ග්‍රීක ,රෝම,පර්සියානු වෛද්‍යවරුත් ක්‍රිස්තු පූර්ව යුගවලදිත් මේ ගැන දැනං ඉඳල තියනවා.
පේරැ වලිනුත් මේවගේ රෝගලක්ෂණ සහිත වෙස්මුහුණුත් හමුවෙලා තියනවා.කොහොම නමුත් නමුත් පැරණි ලෝකයට සමාන්තර දැනුමක් අපිටත් තිබ්ල තියනවා.
මොකද අපි පෝෂණය උනේ ආයුර්වේදයෙන් නේ.......


"ශ්‍රීලාංකීය දේශීය චිකිත්සාවේ සදහන් සන්නිරෝග හා පහතරට බෙන්තර සම්ප්‍රදායට අයත් සන්නියකුම ශාන්තිකර්මයේ සදහන් සන්නිරෝග පිලිබඳ සංසන්දනාත්මක හා විමර්ශනාත්මක අධ්‍යනයක්"
යන මැයෙන් BAMS උපාධි පාඨමාලාව සදහා මාවිසින් ඉදිරිපත් කොට පලකෙරැන පර්⁣යේෂන නිබන්ධනය ඇසුරෙන් හා ශාස්ත්‍රීය ග්‍රන්ථ හා ලිපි ඇසුරෙන්.
චායාරෑප :- අන්තර් ජාලයෙන්

පහුගිය ලිපිය- සන්නිරෝග - ( Part 1)

වෛද්‍ය මාධව සිව්රංග සුමනවීර

No comments:

Post a Comment