Friday, December 15, 2017

සංජීවනී සොයා යාම

රාමායණය නම් ඉතිහාස ග්‍රන්ථයෙහි එන “ප්‍රාණදායක“ ඔසුවක් ලෙස සැලකෙන ‘සංජීවනී‘ නම් ශාකය ඉතාමත් මතභේදාත්මක ශාකයක් බව පෙනේ. රාවණගේ පුත් ඉන්ද්‍රජිත් නොහොත් මේඝනාදගේ හී පහරින් මරණාසන්නවූ රාමගේ සොයුරු ලක්ෂ්මණගේ ප්‍රාණ සුරක්ෂාව උදෙසා ඔසු නිමැවුම පිණිස අවශ්‍ය ඔසු පැළැටි භාරතයෙන් ගෙන ඒමට නිර්දේශ වන්නේ හනුමන්ට ය. එහිදී කෛලාස පර්වත හිසෙහි පවතින දිව්‍යමය වූ ප්‍රකාශ විමෝචක හෙවත් ආලෝක විහිදුවන ඔසු පැළෑටි හතරක් රැගෙන වහා පැමිණීම හනුමන් වෙත පැවරුණු කාර්ය යි. එකී ඖෂධ චතුෂ්කය වනාහි සංජීවනී (ජීවය දෙන්නා වූ), සන්ධානකර්ණී (බිදුණු අස්ථි පේෂී හා කරන්නා වූ), ස්වර්ණ්‍යකර්ණී (සමෙහි ස්වභාවය කාන්තිමත් කරන්නා වූ) හා විශල්‍යකර්ණී (ශල්‍ය නොහොත් ඊ හිස් ආදී අගන්තුක ද්‍රව්‍ය බැහැරට ඇද දමන්නා වූ) යන චතුෂ්කය යි. කෙසේ නමුත් නිසි ඖෂධය සොයා ගැනීමට නොහැකි නිසා (හෝ ඔසු ගුණ සුරැකීම උදෙසා සජීවීව ශාක රැගෙන ආයුතු නිසා හෝ) ගිරි හිස සමස්ථයෙන් ගෙන මෙහි සැපත් වූ බවයි ග්‍රන්ථයෙහි දැක්වෙන්නේ. ඒ ගෙනා සංජීවනීවලින් කළ ඔසු ලබා දීමෙන් මරණයෙහි ගිලී සිටි ලක්ෂ්මණ යළි ප්‍රාණ ලද්දේ වෙයි.
රාමායණය යනු අතිශයෝක්තියක් ලෙසින් ලියැවුණු ග්‍රන්ථයක් බව කිවමනා නොවේ. ඉන්ද්‍රජිත්ගේ විෂ හී සරින් ලක්ෂ්මණ මිය ගොස් සිටියා නොව විය හැක්ක නම් විසඥතාවයට පත්වීමයි. (unconsciousness or coma ) ඒ අනුව විසඥතාවයෙන් ඔහු මුදනු පිණිස ඔසු සැකසීමටයි සංජීවනී අවැසි වනුයේ. එසේ නම් සංජීවනී තුළ ඒ වූ ගුණ අත්‍යයන්ත ලෙසම පිහිටිය යුතුය. කෙසේ නමුත් සංජීවනී පිළිබද කථාවේදී පළමුව අපට තෝරා ගැනීමට මාවත් දෙකක් වේ. එකක් නම් සංජීවනී යනු හුදු මන!කල්පිතයක් බව හා එවැන්නක් නොපවතින බවයි. ඒ මග තෝරා ගන්නේ වී නම් ප්‍රවාහය මෙතෙකින් නවතිනු ඇත. අනෙක නම් මෙහි විලෝමය යි. සංජීවනී හුදු ප්‍රලාපයක් යැයි බැහැර නොකළ යුතු යැයි දෙවන මග තේරීමට සාධක කිහිපයක් වෙයි. පළමු වැන්න නම් සංජීවනී යන්න යෙදෙන එකම තැන රාමායණය නොවීමයි. මහාභාරතය වැනි අනෙක් ඉතිහාස ප්‍රවාදිත ග්‍රන්ථගතව ද සංජීවනී එන බවට තොරතුරු වෙත්. අනෙක් අතට ප්‍රවාදයන්හී දැක්වෙන පමනට මෙතරම් බලගතු ඔසුවක් පවතින්නේ වී නම් එහි ප්‍රයෝජනය අවශ්‍යයෙන්ම ගත යුතු හෙයිනි. එසේම සංජීවනී යන ඍජු සංස්කෘත නාමය නොවූවත් ජීවන්තී, ජීවක, ජීවභද්‍රා ආදී කොට සමතා නාමයන් සහිත විවිධ ඖෂධ වර්ග ආයුර්වේදයේ ද හමු වන නිසා සංජීවනී හුදු ප්‍රලාපයක් ලෙස බැහැර කළ යුතු යැයි නොහැගෙනු ඇත. එසේත් නොමැති වී නම් සංජීවනී යන නාමය ඒ බදු ගුණ යුත් ශාක සමූහයක් උදෙසා ව්‍යවහරිත ඒකීය නාමයක් ද විය හැක.
කෙසේ නමුත් සංජීවනී පිළිබද කරුණු සොයා යාමේදී භාවිතයට ගැනීමට තිබෙන්නේ ද මෙම සාහිත්‍යමය සාක්ෂ්‍ය පමණකි. ඒ වූ සාක්ෂ්‍ය මතින් යමින් සංජීවනී පිළිබද දක්වා ඇති ගුණයන් හා වඩාත් ගැලපෙන ශාකය තෝරා ගැනීම සාධාරණ වනු ඇත. සාහිත්‍ය මූලාශ්‍ර හා ජනවහර අනුව යමින් සංජීවනී ලෙස පිළි ගැනුම් කෙරෙන ශාක විශේෂ 17ක් පර්යේෂකයන් ලැයිස්තු ගත කර ඇති අතර ඉන් වඩාත්ම ගුණ හා ගැලපෙන ශාක තුනක් කෙටි ලැයිස්තු ගත කර ඇත. ඒ
1. Cressa cretica
2. Selaginella bryopteris
3. Desmotrichum fimbriatum ය.
මෙම ශාකත්‍රය අතරෙන් සංජීවනී සදහා වඩාත්ම සුදුස්සා තෝරා ගැනීම සදහා භාවිත වූ මූලික නිර්ණායක කිහිපයකි. ඉන් පළමුවැන්න නම් යළි ප්‍රාණ දායාද කිරීමේ ඇති හැකියාවයි. පෙර දැක් වූ පරිද්දෙන් මළ අයෙක් නැගිට්ටවීමට කිසිත් ඔසු නොමැති අතර විසඥතාවය දුරලීමට සමත් ඔසුවක් නම් විය හැකිය. ඒ අනුව මේ අතරෙන් කවරක් විසඥතාවය (unconsciousness or coma) සදහා උපයුක්ත කොට ගත හැක්කේ ද යන්න පරික්ෂා විය යුතු ය. දෙවැන්න නම් සමතාවයෙන් සමතාවය නැසීමේ යාන්ත්‍රණය නොහොත් ස්වභාව රීතිය යි. ‘යත්‍ර ආකෘති තත්‍ර ගුණා! වසන්ති‘ යනුවෙන් දක්වන්නේ ද මෙයයි. එනම් මරණාසන්න තත්වයෙන් යමෙක් මුදවාලීමට සංජීවනියට හැක්කේ ද ඒ අයුරින් ම මරණාසන්න මොහොතේදී තමාට ද සුරක්ෂා විය හැක්කේම ය යන සමතාවය යි. මෙකී කරුණු මත සිට සංජීවනී සදහා සුදුස්සා තේරීම විය යුත්තේ ය.
තමාගේ මරණය වළක්වා කාලතරණය කළ හැකි ශාක (poikilohydric) පවතින අතර ඒවා නියං සමයන්ට ඔරොත්තු දෙමින් ස්වකීය පැවැත්ම තහවුරු කර ගනියි. මෙවැනි ශාකවල ඒ අදාල ජාන භෝග වලට බද්ධ කිරීමෙන් නියගයට ඔරොත්තු දෙන භෝග වර්ග ද නිපදවා ගැනේ. ඒ අතුරු කථාවෙකි. කෙසේ නමුත් සංජීවනී ද මේ කියන ආකාරයේ ජල කළමනාකරණය මැනවින් සිදු කර ගත හැකි, නියගයට ඔරොත්තු දෙන ආකාරයේ ශාකයක් විය යුතු ය. මේ අනුව ඉහත වර්ග තුන අතරෙන් මේ ගුණය හා මැනවින් පෑහෙන්නේ Selaginella bryopteris ය. මෙය කදුකර ප්‍රදේශයන්හී ගල් තලා ආශ්‍රිතව වැවෙන පැළෑටියක් වන අතර දැඩි නියගයන් සදහා මැනවින් ඔරොත්තු ද දෙයි. එනම් ස්වකීය මරණය තරණය කළ හැක්කේ වෙයි. එසේම මෙම වර්ගය සතු ව ඖෂධීය ගුණයන් ද බොහෝ පවතින අතර ප්‍රාදේශීය චිකිත්සාවලීන්හිදී ද මෙය ඔසු පිණිස යෙදේ. විවිධ පර්යේෂණයන්හිදී Selaginella bryopteris පාරජම්බුල විකිරණයන්ට හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට නිරාවරිත වීම නිසා සෛල තුළ අති වන විකෘති වීම් (Oxidative stress) මෙමගින් සන්සිදවීමට හැකි බව තහවුරු කර ඇත. මෙම ඔක්සිකාරික ආතතිය ස්නායු පද්ධතියේ ක්‍රියා හානියට බලපාන බවත් Selaginella bryopteris මගින් එකී ආතති සමනය කිරීමෙන් ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇති වන ඒ බදු සංකූලතා මැඩලිය හැකි බවත් මතය යි. කෙසේ නමුත් එය විසඥතාවය උදෙසා උපයෝග කොට ගත හැකි බව නම් මෙතෙක් තහවුරු කෙරී නැත.
Desmotrichum fimbriatum ද බොහෝ විට ඔසු පිණිස යෙදෙන පරිසර සාධක සදහා ප්‍රතිරෝධී වූ අපිශාකිත උඩවැඩියාවකි. නමුත් මෙය සංජීවනී නමින් ප්‍රබලව ව්‍යවහාර නොකෙරෙන අතර Selaginella bryopteris මෙන් සෛල මත ඇති කරන බලපෑම හීන ය. මේ අනුව සංජීවනී ලෙස වඩා ගැලපෙන්නේ Selaginella bryopteris බව පර්යේෂකයන්ගේ මතය යි.
කෙසේ වෙතත් වෙනත් ජනවහර හා බැදි කළ පර්යේෂණවලදී සංජීවනී ලෙස සාම්ප්‍රදායිකව භාවිත වන ශාක වර්ග කිහිපයක් ද හමු වී ඇත. බටහිර හිමාලය,නේපාලය වැනි ප්‍රෙද්ශවල ජනයා ශාක වර්ග දෙකක එකතුවක් සංජීවනී ලෙස භාවිත කරයි. ඒ Saussurea gossypiphora හා Pleurospermum candollei ය. ඔවුන්ගේ මතය නම් සංජීවනී යනු ඔසු කාණ්ඩයක් බවත් Pleurospermum candollei යනු මෘත සංජීවනී යන ඒකීය ශාකය වන බවත් ය. නමුත් මෙම ශාක සදහා සංජීවනී පර්යායක් නොවන අතර ඵේන කමල් සහ කස්තුරි කමල් ලෙස මේ වර්ග ද්වය හදුන්වනු ලබයි.
හිමාලයේ වඩා ඉහළ ප්‍රදේශවලින් හමු වන ‘සෝලා‘ ලෙස ප්‍රාදේශීවය ව්‍යවහාර කෙරෙන rhodiola rosea නම් ශාකය ද ඇතැම් පර්යේෂකයන් සංජිවනී ලෙස හදුන්වන අතර එහි භාවිත අනුව සංජීවනී ලෙස පිළිගැනීමට නොහැකියාවක් ද නොපෙනේ. මෙයට ගැමා විකිරණ පවා පාලනය කිරීමේ හැකියාවක් පවතින අතර ඉතා හොද ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ද ක්‍රියා කරයි. වයස් පාලනය ද හානි වූ පටක යළි ප්‍රකෘතිමත් කිරීමට හා අඩු ඔක්සිජන් සාන්ද්‍රණයන්හිදී ස්නායු සෛල සුරක්ෂා කිරීමට ද එය සමත් ය. මෙහි ද ගැටළුව සංජීවනී ලෙස ඍජු හැදින්වීමක් මේ මත ද නොවීම යි.
මේ සියලු ශාක ඉන්දියාවේ සංජීවනී හෝ මෘතසංජීවනී ලෙස හැදින් වුවද ලංකාවේ සංජීවනී ලෙස ගැනෙන්නේ වෙනත් ශාකයකි. එය පර්ණාංගයක් වන actiniopteris radiata ය. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පමණක් නොව මැඩගස්කරය, අරාබිය, ඕස්ට්‍රේලියාව වැනි රටවල ද ව්‍යාප්තව පවතින නමුත් වදවී යන තර්ජණයට ලක් වූ ශාකයකි. මෙම ශාකය සම්බන්ධයෙන් වන ගැටළුව නම් මෙය සංස්කෘත බසින් සංජීවනී ලෙස නොව ‘මයුරශිඛ‘ යන නමින් හැදින්වෙන වෙනම ශාකයක් වීමයි. මේ සදහා වන අනෙක් පර්යාය නාමයන් නම් ‘ නීලකාන්තශිඛ‘,‘සහස්‍රා‘ යනාදිය යි. (සංජීවනී යනු මෙය නම් නිතැතින්ම සංජීවනී පර්යාය මේ සදහා යෙදෙනු ඇත.) කෙසේ නමුත් ඔසු ගුණ යුත් මෙම ශාකය කාන්තාවන්ගේ සරුබව ඇති කිරීමට සමත් ය. එසේම ප්‍රතිශක්තිය නැංවීම කෙරෙහිද, රක්ත ස්තම්භනය (රුධිර වහණය වැළැක්වීම) පිණිසද, මුත්‍රණ ව්‍යුහාව ආශ්‍රිත ආබාධ තත්වයන්හිදී ද භාවිත වේ.
මේ සියලු දත්ත මත පදනම්ව සංජීවනී යැයි ශාකයක් වේ නම් මේ වන විට පිළිගැනුම් කරනුයේ Selaginella bryopteris ය. ගුණ සලකා බැලූ කළ සංජීවනී පර්යාය නොවූවත් මීළගට පෑහෙනු ඇත්තේ rhodiola ය. කෙසේ නමුත් සංජීවනී තවමත් අභිරහසකි.

පර්යේෂණ පත්‍රිකා හා වෙනත් මූලාශ්‍ර කිහිපයක් ඇසුරෙන් කළ සටහනක් බව සලකන්න.


වෛද්‍ය ජනක ජයලත්



No comments:

Post a Comment